අන්තර්ජාල ව්‍යාපාරයක් මඟින් මුදල් උපයා ගතහැකි බව පවසා කාන්තාවන් රවටා මුදල් වංචා කිරීමක් සිදුකළ සැකකාරියක් සහ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් ලද පැමිණිලි මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
මෙලෙස ලැබුණු එක් පැමිණිල්ලක අන්තර්ජාල ව්‍යාපාරයක් මඟින් මුදල් උපයාගත හැකි බව පවසා පැමිණිලිකාරිය රවටා වංචා කරන ලද මුදල් රුපියල් තිස්එක් ලක්ෂ හතළිස් එක්දහස් නවසිය හැටහතක මුදලින් සැකකාරියගේ නමින් ඇති ගිණුමකට රුපියල් ලක්ෂ දෙකක මුදලක් වංචනිකව බැර කර එකී ගිණුම නොදන්නා පාර්ශවයක් වෙත මුදලට අලෙවි කර වංචාවක් සිදුකර ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.
අනෙක් පැමිණිල්ලේ අන්තර්ජාල ව්‍යාපාරයක් මගින් මුදල් උපයාගත හැකි බව පවසා කාන්තාවක් රවටා වංචා කරන ලද මුදල් රුපියල් තිස්එක් ලක්ෂ හතළිස් එක්දහස් නවසිය හැට හතක මුදලින් සැකකරුගේ නමින් ඇති ගිණුමකට රුපියල් දෙලක්ෂ තිස්තුන්දහස් පන්සිය විසි දෙකක මුදලක් වංචනිකව බැරකර එකී ගිණුම නොදන්නා පාර්ශවයක් වෙත මුදලට අලෙවි කර වංචාවක් සිදුකර ඇති බවටයි විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ.
ඒ, අනුව ඊයේ (12) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය මගින් මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් වයස අවුරුදු 33ක ගාල්ල ප්‍රදේශයේ පදිංචි සැකකාරියක් සහ වයස අවුරුදු 36ක පානදුර ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



