මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල, දියණිය ඇතුළු විත්තිකරුවන් හතරදෙනෙකුට එරෙහිව ගොනු කර තිබූ නඩුව ජනවාරි මස 29 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
එම නඩුව අද (14) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිට නීතිඥ කාංචන රත්වත්තේ අධිකරණය හමුවේ ඉල්ලීම කරමින් මෙම නඩුවට අදාළව බැංකු ලේඛන වාර්තා මෙතෙක් විත්තිය වෙත ලබාදී නොමැති බව සඳහන් කළා.
ඒ අනුව අදාළ වාර්තා විත්තිය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස විනිසුරු වරයා අල්ලස් කොමිසමේ නීතිඥවරියට දැනුම් දුන්නා.
ඉන් අනතුරුව අදාල නඩුව යළි ලබන 29 වනදා කැඳවන ලෙස නියම කළා.
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල, දියණිය වන අමාලි නයනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුණී ක්‍රිෂ්ණජිනා යන අය නම් කර තිබෙනවා.



