ඉන්දියාවෙන් ආනයනය කළ එන්නත් කිහිපයක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් තහනම් කිරීම සහ එම ඖෂධයන්හි ප්‍රමිතිය නිසි මට්ටමේ නොපැවතීම මෙන්ම එම ඖෂධ භාවිතා කළ ඇතැම් රෝගීන්ට අසාත්මිකතා ඇති වීම සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන වේදිකාවේ මෙන්ම සහ සමාජයේ ද කතා බහක් නිර්මාණය වී තිබෙනවා.
ඇතිව තිබෙන මෙම තත්ත්වය පිළිබදව අද (19) පෙරවරුවේ සමගි ජන බලවේගය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.
එහිදී මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ මෙලෙස ආනයනය කළ ප්‍රමිතියෙන් තොර ඖෂධ සහ එන්නත් නිසාවෙන් ජීවිත හානි 02ක් සිදුව ඇති බවත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් වගකීම භාර ගත යුතු නමුත් අමාත්‍යවරයා මේ වන විට වගකීමෙන් බැහැර වීමට උත්සහ දරන බවයි.
වත්මන් ආණ්ඩුව විසින් හඳුන්වාදෙන බවට කී දේශපාලන සදාචාරයට අනුව නිවැරදිව නම් මේ මොහොතේ සෞඛ්‍ය අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා පවසා සිටියේ.
කෙසේ වෙතත් මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු එක්රැස් කරමින් සිටින බවත් එලෙස අවශ්‍ය කරන තොරතුරු ලබා ගැනීමෙන් පසු අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පසුබිම මත අදාළ ආයතන සඳහා පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියා.















