ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු විත්තිකරුවන් හතර දෙනක්ට එරෙහිව පවරා තිබූ නඩුවේ චෝදනා පත්‍රය අල්ලස් කොමිසම විසින්ම ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු එම නඩුවේ විත්තිකරුවන් සිව් දෙනා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් නියෝග කළා.
2011 වර්ෂයේදී ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබේදී ඒ බව දැන දැනම ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් සිදු කිරීම ඇතුලු චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබුණා.
ඒකී බැඳුම්කර ගනුදෙනුව මහ බැංකුවේ රෙගුලාසි වලට හා මූල්‍ය වාර්තා රෙගුලාසි වලට අනුකූලව නීත්‍යානුකූලව සිදුව ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබියදී අල්ලස් කොමිසම විසින් දෙවන වතාවටත් මෙම නඩුව පවරා තිබීම යුත්ති සහගත නොවන බව ජනාධිපති නීතීඥ ඩිලාන් රත්නායක සහ නලින් ලද්දු හෙට්ටිආරච්චි ලිඛිතව කරුණු දක්වා තිබුණා.
ඒ අනුව සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව පවරා තිබූ චෝදනා පත්‍රය අද (10) ඉල්ලා අස් කර ගැනීමට කටයුතු කළ අතර මහාධිකරණය එම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කරනු ලැබුවා.















