මාතලේ දිස්ත්‍රික්කය යළි ගොඩනැඟීමට ජනපති සමඟ විශේෂ සාකච්ඡාවක්

ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ මාතලේ දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යළි ගොඩනැඟීම පිළිබඳ අද (06) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

ආපදාවෙන් හානි වූ වගා බිම් සඳහා වන්දි ලබා දීමේ කටයුතු මෙම දෙසැම්බර් 30 වනදා පෙර අවසන් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ අතර එම වන්දි මුදල්, එය ලැබීමට සුදුසුම පිරිස් වෙත ලබා දීම වෙනුවෙන් නිවැරදි දත්ත වෙන් කර හඳුනා ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

මීට පෙර රටේ සහල් අතිරික්තයක් තිබෙන බවට අදාළ ආයතන දත්ත ඉදිරිපත් කළද සහල් හිඟයකට මුහුණ දීමට සිදුවු අන්දමද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා.

මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක, පවුල් 5501ක පුද්ගලයන් 11,804ක් ආපදාවෙන් බලපෑමට ලක්ව සිටින අතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සුරක්ෂිත මධ්‍යස්ථාන 44ක පුද්ගලයන් 4113ක් රැඳී සිටි. නිවාස 119කට පූර්ණ හානි සිදුව තිබෙන අතර අර්ධ හානි සිදුවූ නිවාස ගණන 2618ක්.

දිස්ත්‍රික්කයේ මහාමාර්ග, විදුලිය, ජල සැපයුම, සන්නිවේදන සහ වාරිමාර්ග ප්‍රතිසංස්කරණය සහ ආපදාවෙන් බලපෑමට ලක්වූ වගා බිම් සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත යළි ආරම්භ කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන්හි ප්‍රගතිය ද ජනාධිපතිවරයා විසින් මෙහිදී විමසා බැලුවා.

ආපදාව හේතුවෙන් දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග 16ක් කැඩී ගොස් තිබු බවත් එයින් මාර්ග 12ක් පිළිසකර කර ජනතාවගේ ගමනා ගමනයට විවෘත කර ඇති බවත් මෙහිදී නිලධාරීන් පෙන්වා දුන් අතර වත්තේගම – කන්දේගෙදර, උකුවෙල – ඇල්කඩුව, මොරගහකන්ද – වැල්ලවල, රත්තොට – ඉලුක්කුඹුර යන ඉතිරි මාර්ගද කඩිනමින් පිළිසකර කර ජනතාව වෙනුවෙන් විවෘත කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා භාජනය වුණා.

එමෙන්ම පළාත් මාර්ග 38කට දැඩි හානි සිදුව තිබෙන බවත්, 17කට අර්ධ හානි සිදුව තිබෙන බවත් මෙහිදී සඳහන් කෙරුණු අතර ඒ අතරින් මාර්ග 19ක් සම්පූර්ණයෙන් විවෘත කිරීමටත්, මාර්ග 19ක කොටසක් පමණක් විවෘත කිරීමටත් පියවර ගෙන ඇති බව නිලධාරීහු පෙන්වා දුන්නා.

ආපදා තත්ත්වය නිසා දිස්ත්‍රික්කයේ විදුලි සබඳතා 58ක් බිඳ වැටී තිබෙන අතර ඒවා කඩිනමින් යථා තත්ත්වයට පත් කර 92%කට පමණ විදුලිය ලබා දීමට මේ වන විට පියවර ගෙන තිබෙන බවත් ප්‍රවේශ මාර්ග අවහිර වීම සහ විවිධ ගැටලු හේතුවෙන් ප්‍රමාද වී ඇති රත්තොට, අඹන්ගඟ, ලග්ගල, උකුවෙල, යටවත්ත, පැල්ලේපොල, මාතලේ ආදි ප්‍රදේශවල විදුලි සබඳතා කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම දිස්ත්‍රික්කයේ බිඳ වැටුණු ජල සැපයුම යථාවත් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ප්‍රවේශ මාර්ග අවහිර වීමෙන් පවුල් 500කට පමණ සතියක් පුරා පානීය ජලය අහිමි වී ඇති බව අනාවරණය වුණා.

ඒ පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ ජනාධිපතිවරයා අදාළ සියලු ආයතන සම්බන්ධීකරණය කර ගනිමින් පවතින බාධාවන් ඉවත් කර එම ජනතාවට කඩිනමින් ජල සැපයූම ලබා දීමට උපදෙස් දුන්නා.

විදුලිය, ජලය හෝ සන්නිවේදනය ආදී ඕනෑම පහසුකමක් ජනතාවට සැපයීමේදී තම තොරතුරු ප්‍රධාන කාර්යාලයට යවා නිහඩව සිටීමෙන් ඵලක් නොවන අතර ඊට අදාළ ආයතන සමග නිරන්තර සම්බන්ධතාවයෙන් තම සේවාව කඩිනමින් ජනතාවට ලබා දීමට කැපවීම නිලධාරීන්ගේ වගකීම බවද ජනාධිපතිවරයා අවධාරණය කරනු ලැබුවා.

එමෙන්ම දිස්ත්‍රික්කයේ සන්නිවේදන පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති පියවර සහ මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එම පහසුකම් හිමි විය යුතු ප්‍රදේශ නිසි ලෙස හඳුනා ගනිමින් එම සේවාව සැපයීමට කටයුතු කිරීම සන්නිවේදන සේවා සපයන සියලු ආයතනවල වගකීම බවද ජනධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

එමෙන්ම ආපදාවට ලක්වූ සෞඛ්‍ය හා සනීපාරක්ෂක පද්ධති පිළිසකර කිරීම පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර දඹුල්ල රෝහල වෙනත් ස්ථානයක ස්ථාපිත කරමින් එය වඩා පහසුකම් සහිත රෝහලක් ලෙස සංවර්ධනය කිරීමේ යෝජනාව පිළිබඳවද අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඊට අවශ්‍ය විධිමත් සැලැස්මක් සහ ප්‍රතිපාදන පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන ලෙස නිලධාරින්ට උපදෙස් දෙනු ලැබුවා.

එමෙන්ම දිස්ත්‍රික්කයේ පාසල් දෙසැම්බර් 16 වනදා වන විට හැකිතරම් විවෘත කිරීමට පියවර ගන්නා ලෙසද උපදෙස් දුන් ජනාධිපතිවරයා ආපදාවට ලක් වූ පාසල්වල දරුවන් ආසන්න පාසල් වෙත යොමු කිරීමේ සැලැස්මක් සකස් කරන ලෙසද අධ්‍යාපන නිලධාරීන්ට දැනුම් දුන්නේය. එහිදී ආපදා සහිත පාසල්වල දරුවන්ගේ මානසික තත්ත්වය යහපත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නා.

එමෙන්ම දිස්ත්‍රික්කයේ විනාශ වී ඇති වාරි පද්ධති සහ ජලාශ කඩිනමින් ප්‍රතිසංස්කරණ කිරීම, ආපදාවට ලක් වූ භෝග වගාවන් සහ සත්ව ගොවිපොළ යළි ආරම්භ කිරීම, ආපදාව හේතුකොට ගෙන ධාවනය නොවන බස් රථ සේවා යළි ඇරඹිම පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?