මැලේසියානු බලධාරීන් විසින් එරට සේවය කරන බංග්ලාදේශ ජාතිකයන් අතර ඉස්ලාමීය රාජ්‍ය සටන්කාමී කණ්ඩායම සඳහා මතවාදය පතුරුවා හැරීමට සහ අරමුදල් රැස් කිරීමට සමාජ මාධ්‍ය භාවිතා කළ ජාලයක් විසුරුවා හැර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
ඉස්ලාමීය රාජ්‍යයට සම්බන්ධ පිරිසක් 2016 දී ක්වාලාලම්පූර් අගනුවර සිදු කළ ප්‍රහාරයකින් පසු මුස්ලිම් බහුතරයක් සහිත මැලේසියාව, සැක සහිත සටන්කාමී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සියය ගණනක් පුද්ගලයින් රඳවාගෙන ඇතත්, කලාපීය මර්දනයකින් පසු මෑත වසරවලදී අත්අඩංගුවට ගැනීම් බොහෝ දුරට අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.
කර්මාන්තශාලා, වතුකරය සහ ඉදිකිරීම් රැකියා පිරවීම සඳහා මැලේසියාව විදේශීය ශ්‍රමය මත දැඩි ලෙස රඳා පවතින අතර, සෑම වසරකම බංග්ලාදේශ ජාතිකයන් දහස් ගණනක් රැකියා සඳහා රටට සංක්‍රමණය වන අයුරු දැකිය හැකියි.
රූපවාහිනී මාධ්‍ය හමුවකදී පොලිස්පති මොහොමඩ් කාලිඩ් ඉස්මයිල් පැවසුවේ, අප්‍රේල් මාසයේ සිට මෙහෙයුම් කිහිපයකදී බලධාරීන් බංග්ලාදේශ ජාතිකයන් 36 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔවුන් සියල්ලෝම කර්මාන්තශාලාවල හෝ ඉදිකිරීම් සහ සේවා වැනි අංශවල සේවය කිරීමට මැලේසියාවට පැමිණ ඇති බවත්ය.















