රුපියල් ලක්ෂ පනස් හයක් වටිනා ස්වර්ණාභරණ, ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, තීරුබදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවක් ඊයේ (01) දින දහවල් ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත්අඩංගුවට ගැනුණා.
දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ, සැකකාරිණිය මත්තෙගොඩ ප්රදේශයේ පදිංචි 63 හැවිරිදි ව්යාපාරික කාන්තාවක් බවයි.
ඇය ඊයේ උදෑසන 07.30 ට ඩුබායි සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
සැකකාරිණිය විසින් රැගෙන එන ලද ගමන් මළු තුළ රන් මාල 23 ක්, රන් කැබැල්ලක්, අත් පළදනා 03ක්, කරාබු ජෝඩු සහ කරමාල, ලැප්ටොප් පරිගණක 06 ක් සහ ජංගම දුරකථන 11 ක් සූක්ෂ්ම ව සඟවාගෙන සිටියදී සොයා ගැනුණා.
ඇය පිළිබඳ කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත කොට්ඨාස බුද්ධි අංශයෙන් ලැබී තිබූ තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණා.
මේ වනවිට මෙම ව්යාපාරික කාන්තාව සහ ඇය විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ භාණඩ තොගය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතුවලට කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.





