Empty Ad
AFC Banner
Empty Ad

ලබන සඳුදා තෙක් දේශබන්දුව අත්අඩංගුවට නොගන්නා බවට එකඟතාවක් නෑ – නීතිපති

තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණ‍ය දී ඇති නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සමේ තීන්දුව ලබන මාර්තු 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කළා.

එමෙන්ම ලබන සඳුදා දිනය තෙක් දේශබන්දු තෙන්නකෝන් මහතාව අත්අඩංගුවට නොගන්නා බවට එකඟතාවක් නිකුත් නොකරන බව ද එහිදී නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන් බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සිය පෙත්සම සමඟ පසුගිය මාර්තු 7 වැනිදා ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශය මගින් ඔහු පදිංචි ස්ථානය ලෙස ගංඟානි ගාඩ්න්ස්, හෝකන්දර ලෙස දක්වා ඇතත් ඔහු පමණක් නොව ඔහුගේ පවුලේ සියලු සමාජිකයන් සමඟ එම ස්ථානයෙන් පලා ගොස් ඇති බව නීතිපතිවරයා ප්‍රමුඛ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දිලීප පීරීස් මහතා විනිසුරු මඬුල්ලට දැන්වූවා.

එපමණක් නොව එම දිවුරුම් ප්‍රකාශයේ පෙත්සම්කරුගේ නම නිසි ආකාරව සඳහන් කර නොමැති බවත් දින 14 කාලයක් තිස්සේ උන්හිටි තැන්වලින් පලා ගොස් සිටින රටේ පොලිස්පතිවරයාව සොයා ගැනීමට පොලිසීයට මහජන සහාය ඉල්ලා සිටීමට සිදු වූ බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නා.

පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතා දිවුරුම් ප්‍රකාශයට අත්සන් කළේ මාතර ද, හෝකන්දර ද, කොළඹ දී ද යන්නැයි පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රෝමේෂ් ද සිල්වා මහතාගෙන් විමසා සිටි වැඩබලන සභාපති විනිසුරුවරයා ඔහුව දුටුවා ද කියා වැඩිදුරටත් විමසුවා.

එහිදී ජනාධිපති නීතීඥවරයා විනිසුරුයා නැඟු එම ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් කොහේ දී හෝ විය හැකි යැයි හැඟෙන ආකාරයෙන් පිළිතුරක් ලබා දුන් බව ද වාර්තා වනවා.

මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය පෙබරවාරි 27 වැනිදා නඩුවේ සැකකරුවකු ලෙස දේශබන්දු මහතාව නම් කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගයක් ලබා දී ඇතත් එදින කිසිදු වරෙන්තු නියෝගයක් නිකුත් නොකළ බව ද අධිකරණයට පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මහේස්ත්‍රාත්වරයා විසින් සිය නියෝගය ලබා දී ඇත්තේ ද අධිකරණය හමුවේ ඉදිරිපත් වී තිබෙන සියලු සාක්ෂි හා සෙසු විමර්ශන වාර්තා සලකා බැලීමෙන් අනතුරුව වන බවත් අධිකරණයට පෙන්වා දුන්නා.

එවැනි නියෝගයක් නිකුත් කිරීමේ අධිකරණ බලය මහේස්ත්‍රාත්වරයකුට ඇති බැවිත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දෙන පරිදි එය අනීතික ලෙසින් නිකුත් කළ නියෝගයක් නොවන බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පෙන්වා දුන්නා.

පසුගිය 2023 දෙසැම්බැර් 31 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා හා එම කොට්ඨාසයේ අංශ භාර ස්ථානාධිපතිවරු දෙදෙනකු දෙදෙනකු ඇතුළු පොලිස් නිළධාරීන් අටදෙනෙකු වැලිගම W 15 හෝටලය අසලට ගොස් අලුයම් කාලයේ දී හෝටලය දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කරන අවස්ථාවේ දී ජංගම නිල සංචාරයේ යෙදී සිටි වැලිගම පොලෟසියට අනුයුක්තව සේවය කළ නිලධාරීන් පිරිසක් හා හමුදා සැරයන්වරයෙකු එම ස්ථානයට පැමිණ සිවිල් ඇඳුමින් සැරසී වෑන් රථය තුළ සිටි පිරිසට වෙඩි ප්‍රහාර එල්ල කර ඇත්තේ ඔවුන් පිරිස් නිලධාරීන් බව හඳුනාගෙන නොගෙන බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විනිසුරු මඬුල්ල හමුවේ අවධාරණය කළා.

වෙඩි ප්‍රහාරයට ලක්ව මරණයට පත් වූ පොලිස් සැරයන්වරයා ඇතුළු තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනාව කඩිනමින් රෝහල් ගත කර යුතුව තිබුණත් එසේ නොකර තුවාල වූ එම නිලධාරීන් ද සමඟ පලා ගොස් ආ පිරිස අධිවේගී මාර්ගයේ දී පොලිස් මාර්ග බාධකවල දී සැතපුම් 40ක් පමණ දුර ගෙවා අවට තිබූ රෝහල් තුනක් පසුකර පැමිණ ඇති බව ද දිලීප පීරිස් මහතා අධිකරණයට පැවසුවා.

වෙඩි තැබීම සිදු විනාඩි 40කට පසුව පොලිස් මාර්ග බාධකයේදී පොලීසියට කොටු වීමෙන් අනතුරුව තුවාල ලබා සිටි පොලිස් සැරයන්වරයාව රෝහල්ගත කරන විටත් වෙඩි වැඳීම හේතුවෙන් ඇති වූ තුවාලවලින් අධික ලෙස ලේ වහනය වීම නිසා එම නිලධාරියා මිය ගිය බවත් සිය වෘත්තීය සඟයාගේ ජීවිතය ගලවා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට හෝ සැකකාර කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පියවර ගෙන නොතිබූ බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකණය හමුවේ හෙළි කළා.

තමන් පොලිස්පති දේශබන්දු මහතාගේ සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ නියෝග මත වැටලීමට ගොස් සිටියදී එල්ල වූ වෙඩි පහරින් සැරයන්වරයා ඇතුළු පොලිස් නිලධාරීන් තුවාල ලැබූ බව පොලිස් මාර්ග බාධකයේ දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පොලීසියට පවසා ඇතැයි ද කරුණු දක්වමින් පැවසූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සැකකාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙඩි තැබීමට ලක් වූ W15 හෝටලය වෙත එකී නිලධාරීන් යවා ඇතත් එම හෝටලයේ හිමිකරු වන මොහොමඩ් නිසාම් ජමාල්ඩීන් යන අය සමඟ පැවැති ඉඩම් ආරවුලක් හා දේශබන්දු තෙන්නකෝන් මහතාට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මාස් පතා රුපියල් ලක්ෂ එක හමාර මඟින් උපදේශන ගාස්තුවක් ගෙවන බවට මාධ්‍ය හරහා සිදුකළ අනාවරණය කිරීම සම්බන්ධව පළිගැනීමේ උත්සාහයක් ලෙස කර ඇති බව ද දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නා.

සිය පුද්ගලික අරමුණු ඉටුකර ගැනීම සඳහා රජයේ පොලිස් නිලධාරීන්, රජයේ වාහන, රජයේ ගිනිඅවි සහ පතොරම් සැකකාර දෙශබන්දු තෙන්නකෝන් මහතා යොදා ගෙන ඇති බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පැවසුවා.

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග අනුව වැලිගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා පසුදිනම අධිකරණය හමුවේ පෙනී සිට ඇති බවත් ඔහුව ඇප මුදා හරි පසුබිමක සැකකාර දේශබන්දු තෙන්නකෝන් මහතා දින 14ක් තිස්සේ අධිකරණ‍යෙන් සැඟව සිටීම අධිකරණ නියෝග නොසලකා හැරීමක් බව ද පෙන්වා දුන් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ගමන් කළ වෑන් රථයේ හිස් පතොරම් කොපු 14ක් තිබී සොයාගෙන ඇතත් ඉන් අධිකරණයට ලැබී ඇත්තේ හිස් පතොරම් කොපු 9ක් පමණක් බව ද අවධාරණය කළා.

විමර්ශන සඳහා කිසිදු දේශපාලන මැදිහත්වීමක් හෝ රාජ්‍ය මැදිහත් වීමක් නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සියලු විමර්ශන ස්වාධීනව සිදු කරන බවත් එහිදී අධිකරණයට පෙන්වා දුන් දිලීප පීරිස් මහතා නීතියේ රාමුවට ඉහළින් කිසිවකු නැති බවත් සඳහන් කළා.

එහිදී පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ආචාර්යය රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් සිද්ධිය සම්බන්ධව විමර්ශන‍ය මේ දක්වා අවසන් වී නොතිබිය දී සිය සේවාදයකයාගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කර ගැනීමකින් තොරව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 136(1)B වගන්තිය ප්‍රකාරය මහේස්ත්‍රාත්වරයා නඩු පැවරීමක් ලෙස නිගමනය කරමින් අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් බවත් එය නීතියට අනුකූල නොවන නියෝගයක් බව ද අධිකරණයට පෙන්වා දුන්නා.

එම අවසෟථාවේ දී ජනාධිපති නීතිඥවරයා, වැඩබලන සභාපති විනිසුරුවරයා පෙත්සම්කරු සැඟව සිටින්නේ කොහේද, ඒ කිනම් කරුණක් හේතුවෙන් ද? යන්න විමසා ඔහුට මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ගොස් භාර වීමට ඇති බාධාව කුමක්දැයි විමසා සිටියා.

සිය සේවාදායකයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සූදානම් ඇති බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම්දුන්නා.

මාතර මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝග අනුව අධිකරණයට භාර වූ වැලිගම පොලිස් ස්ථානාධිපතිවරයාව එදිනම ඇප මත මුදා හැර ඇති බැවින් පෙත්සම්කරුව රක්ෂිත බන්ධනාගර ගත කිරීමේ තර්ජනයක් තිබෙන්නේ දැයි සභාපති විනිසුරුවරයා වැඩිදුරත් විමසා සිටියා.

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කළ යුක්තිය මෙහෙයුමට සමඟාමීව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් යොදවා නීතිවිරෝධී ආකාරයෙන් හෝටලයට වෙඩි තැබීමට සැලසුම් කර ඇති බව ද එහිදී අධිකරණයට පෙන්වා දුන් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා පෙත්සම්කාර පාර්ශ්වය වැලිගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු කටයුත්තට අදාළ සියලු ලේඛන හා කාර්යය සටහන් අභියාචනාධිකරණයට ඉදිරිපත් නොකර ඉන් කොටසක් පමණක් ඉදිරිපත් කර පෙත්සම මඟින් ඉල්ලා ඇති අතුරු තහනම් නියෝග ඒක පාර්ශ්වික ව ලබා ගැනීමට උත්සාහ දරා ඇති බව ද දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නා.

දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ නියෝගය ලබන 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළා.

ඒ පෙත්සම අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාෆීර් සහ සරත් දසනායක යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඬුල්ල ඉදිරියේ දී අද (12) කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් ජ්‍යේෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්‍යය රොමේෂ් ද සිල්වා මහතා කරුණු දැක්වූ අතර වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා කරුණු දක්වනු ලැබුවා.

පසුගිය 10 වැනිදා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම පෙත්සම සිය නීතිඥවරු මගින් අධිකරණයට ඉදිරිපත් කළ අතර එදින කරුණු සලකා බැලු විනිසුරු මඩුල්ල නියෝග කළේ එම පෙත්සම සම්බන්ධයෙන් නියෝගය 12 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, එම අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, එහි වත්මන් අධ්‍යක්ෂ පී. අම්පාවිල ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටින්නේ වැලිගම පොලිසිය විසින් සිදුකළ මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරාගෙන තිබෙන බවත් ඊට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යන මහත්වරුන්ගේ බලපෑම් සහිතව සිදුවන බවයි.

එම නිසා අදාළ පරීක්ෂණය දේශපාලන බලපෑම් සහිත පක්ෂපාතී මෙන්ම ද්වේශසහගත ආකාරයෙන් තමා ඉලක්ක කරගනිමින් සිදු කෙරෙන පරීක්ෂණයක් බවත් ඔහු සිය පෙත්සමෙන් සඳහන් කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගෙන් ප්‍රකාශයක්වත් සටහන් කර ගැනීමට පෙර අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් කිරීම නීතියට පටහැනි වන අතර ඉන් අනතුරුව තමන්ගේ විදේශ ගමන් තහනම් කරමින් ඉකුත් 01 වැනිදා නියෝගයක් නිකුත් කර තිබෙන බව ජනමාධ්‍ය ඔස්සේ දැන ගත් බවත් දේශබන්දු තෙන්නකෝන් මහතා සිය පෙත්සමෙන් කියා සිටිනවා.

ඒ අනුව තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු එම නියෝගය ක්‍රියාත්මක වීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඊට අමතරව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යන අයගේ මැදිහත්වීමෙන් අදාළ විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාර්ගයෙන් සිදු කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසයි දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

2023 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි w 15 හෝටලය ඉදිරිපිට වෙඩි තැබීමක් සිදු වු අතර එම සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත පොලිස් සැරයෙන්වරයකු මරණයට පත් වුණා.

මීට අදාළ ව පැවැත්වූ සාක්ෂි විභාගයෙන් අනතුරුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් පෙබරවාරි 27 වැනිදා නියෝගයක් නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?