බෝ වන සහ බෝ නොවන රෝගවලට ප්‍රතිකාර කිරීම මෙන් ම රෝග වළක්වා ගැනීමට ප්රමුඛත්වයක් දී ක්‍රියා කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ; ශ්‍රී ලංකා පෝෂණ සංගමයේ 2025 වර්ෂයට අදාළ වාර්ෂික විද්‍යාත්මක අධ්‍යයන සැසිවාරයට එක්වෙමින්.
ශ්‍රී ලංකා පෝෂණ සංගමයේ (The Nutrition Society of Sri Lanka) 2025 වර්ෂයට අදාළ වාර්ෂික විද්‍යාත්මක අධ්‍යයන සැසිවාරය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වුණා.
“උසස් පෝෂණය සහ සෞඛ්‍ය සාක්ෂරතාව තුළින් ප්‍රජාවන් සවිබල ගැන්වීම” යන්න තේමාව කර ගනිමින් මෙවර 2025 වර්ෂයට අදාළ වාර්ෂික විද්‍යාත්මක අධ්‍යයන සැසිවාරය පැවැත්වීමටයි කටයුතු කෙරුණේ.
සැසිවාරය අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෝෂණ තත්ත්වයන් ඉහළ නංවමින් සෞඛ්‍ය සුරක්ෂිතතාව නඟා සිටුවීම මෙන් ම වැඩි ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීමට අවස්ථාව සලසා දෙමින් රෝගවලින් ආරක්ෂාවීමට අවශ්‍ය මුලික දැනුවත්භාවය ජනතාවට ලබාදීම රෝග ව්‍යාප්තිය පාලනයට අතිශය වැදගත් බව පැවසුවා.
එමගින් පුද්ගල සෞඛ්‍ය ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබෙන අතර ම මෙරට සෞඛ්‍ය පද්ධතියේ අනවශ්‍ය පිරිවැය අවම කර ගැනීමට ද එය හේතු සාධක වන බව ද පෙන්වා දුන්නා.
මෙම ඉලක්කය සපුරාලීම සඳහා බහුපාර්ශ්වීය දායකත්වය මත එනම්, වෛද්‍ය වෘත්තිකයන්, පෝෂණ විශේෂඥයන්, මාධ්‍යවේදීන් ඇතුළු සියලු සමාජ කොටස් සමග එක්ව රෝග වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු යෙදීම ඉතා වැදගත් වන බව ද ශ්‍රී ලංකා පෝෂණ සංගමය ද ඒ සඳහා ප්රමුඛ කාර්යයක් ඉටු කරන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසුවා.
ශ්‍රී ලංකා පෝෂණ සංගමයේ ප්‍රධාන අරමුණ වන්නේ, පෝෂණ විද්‍යාව ප්‍රවර්ධනය කිරීම සහ රටේ ජනගහනයේ සෞඛ්‍යයට එහි යෙදීම ප්‍රවර්ධනය කිරීම සඳහා පෝෂණ ක්ෂේත්රයේ වෘත්තිකයන් අතර සම්බන්ධතා ඇති කිරීමයි.
ඒ අනුව දිවයිනම ආවරණ වන පරිදි වැඩමුළු පැවැත්වීම, පාසල් හා විශේෂ කාණ්ඩ සහ වතුකර ජනතාව ඉලක්ක කර විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මෙරට පෝෂණය පිළිබඳ ගැටලුවක් ඇති වූ විට ඊට සෘජුව මැදිහත්වීම එම සංගමය විසින් සිදු කරනු ලබනවා.
වාර්ෂික විද්‍යාත්මක අධ්‍යයන සැසිවාරයේ දී මෙරට සහ විදේශිය රටවල පෝෂණ සංගම්වල වෘත්තීයවේදීන්, විද්වතුන් නියෝජිතයන් සමග සම්බන්ධ වී එක්ව සාකච්ඡා කර දැනුම බෙදා ගැනීම, දැනුම වර්ධනය කර ගැනීම, පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීම, ඉදිරි යෝජනාවන් ඉදිරිපත් කිරීම, සැලසුම් සකස් කිරීම වැනි ක්‍රියාවන්වල නිරතවනවා.
මෙම වාර්ෂික විද්‍යාත්මක අධ්‍යයන සැසිවාරයේ දී ප්‍රධාන දේශනය යුනිසෙෆ් සංවිධානයේ මෙරට කාර්යාලයේ සෞඛ්‍ය හා පෝෂණ කළමනාකාර වෛද්‍ය ඇබ්නර් එල්කන් ඩැනියල් (Abner Elkan Daniel) මහතා විසින් පවත්වනු ලැබුවා.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පෝෂණ සංගමයේ මහාචාර්ය ආනන්ද චන්ද්‍රසේකර, උප සභාපති වෛද්‍ය කුමාරි රත්නායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත්, වයඹ විශ්වවිද්‍යාලයේ ජේෂ්‍යඨ මහචාර්ය රේණුක සිල්වා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දමයන්ති දසනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කාංචන අබේසේකර ඇතුළු ශ්‍රී ලංකා පෝෂණ සංගමයේ විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.