පසුගිය රාජ්‍ය සමයේ දී නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට විද්‍යුත් ගමන් බලපත්‍ර (E ගමන් බලපත්‍ර) මිලියන 05ක් මිල දී ගැනීම සඳහා ටෙන්ඩර් ලබාදීමට අදාළ ව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ස්ථාපිත කර ඇති ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව විසින් විශේෂ විමර්ශනය ආරම්භ කර ඇතැයි ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා අද (03) අභියාචනාධිකරණයට දැනුම්දී තිබෙනවා.
එකී විමර්ශන වාර්තාව ලැබුණු පසු කඩිනමින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා මොහොමඩ් තාහිර් ලෆාර් සහ ජී. කුමාරරත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලට වැඩිදුරටත් දැනුම්දුන්නා.
පසුගිය රජයේ කැබිනට් මණ්ඩලය විසින් ගෙන ඇති එකී තීරණය නීතියට පටහැනි බව පෙන්වා දෙමින් එපික් ලංකා පෞද්ගලික සමාගම විසින් ගොනුකරන ලද පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය එම අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා.
එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ ටිරාන් කොරියා මහතා පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනී සිටියා.
ජ්‍යේෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය ඊ. කනගඊෂ්වරන් මහතා පෙනී සිටි අතර එම පෙත්සම ලබන මස ජනවාරි 23 වැනිදා යළි කැඳවීමට විනිසුරු මඬුල්ල නියෝග කළා.