ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවතින ආපදා තත්ත්වය ගැන විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා පැහැදිලි කර තිබෙනවා.
එහි අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් උදය හේරත් (විශ්‍රාමික) මහතා පැවසුවේ; ඉදිරි පැය 12 තුළ මේ තත්ත්වය ගැඹුරු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවයි.
මේ නිසා දිවයින පුරා අහස වලාකුළින් බරව ඇති බවත්; තද සුළං සමග ඇතැම් ස්ථානවලට මිලීමිටර් 200ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බව ද සඳහන්.
පසුගිය දිනවල ඇති වූ ආපදා හේතුවෙන් පවුල් 15,670ක පුද්ගලයින් 55,416 ක් පීඩාවට පත්ව ඇති බවත් ඔවුන්ට සහන සැලසීමේ කටයුතු නාවික හමුදාව, යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල සහායෙන් යුතුව සිදු කෙරෙන බවත් හෙතෙම පැවසුවා.
ගංවතුරින් මුදාගත් පිරිස් මේ වනවිට ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා ඇති බවත් මෙම මාධ්‍ය හමුවේ දී අවධාරණය කෙරුණා.
එමෙන්ම මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය සඳහා පිටත්ව යන දරුවන්ට ආපදා තත්ත්වය හේතුවෙන් සිය විභාග මධ්‍යස්ථාන වෙත යා නොහැකි නම්; ළඟම පිහිටි විභාග මධ්‍යස්ථානය වෙත යා හැකි බවත්; ඊට අවශ්‍ය සියලුම ක්‍රමවේද සලසා ඇති බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.
යම්කිසි ගැටලුවක් පවතියි; නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි දූරකථන අංක වන 117 හෝ 011-3668020 වෙත දැනුම්දෙන ලෙසයි ආපදා මධ්‍යස්ථානය පැවසුවේ.
මේ අතර අයහපත් කාලගුණික තත්වය හමුවේ පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන් තබා ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව නිවේදනය කරනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ; දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්වන මහජනතාවට සහන සැලසීම සඳහා මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස සහ අතුරලිය ප්‍රදේශ වෙත නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් 03ක් ස්ථානගත කිරීමට නාවික හමුදාව විසින් නොවැම්බර් මස 24 වන දින කටයුතු කෙරුණු අතර, මේ වන විට (26) එම සහන කණ්ඩායම් ආපදා සහන මෙහෙයුම් සිදු කරමින් සිටින බවත් සඳහන්.
ඒ අනුව, අධික වර්ෂාපතනය හේතුවෙන් නිල්වලා ගඟ සහ එහි අතු ගංඟාවන් පිටාර මට්ටමට පැමිණ ඇති බැවින්, ඇති වී ඇති ගංවතුර අවදානම හමුවේ පීඩාවට පත් වන ජනතාවට සහන සැලසීම සඳහා මෙලෙස නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් තුනක් ජීවිතාරක්ෂක උපකරණ සමඟ ස්ථානගත කෙරුණා.
එම සහන කණ්ඩායම්, අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින පාසල් ළමුන් පිරිසක් වෙත සහ ප්‍රදේශයේ ජනතාවගේ දෛනික කටයුතු සිදුකර ගැනීම සඳහා නාවික හමුදා ඩිංගි යාත්‍රා මගින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීම ඊයේ (25) සිට ආරම්භ කර ඇති බවත් වාර්තා වනවා.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති විය හැකි ගංවතුර අවදානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් සැලසීම සඳහා අවශ්‍යතාව මත ස්ථානගත කිරීමට නාවික හමුදා අමතර සහන කණ්ඩායම් 134ක් සූදානමින් තබා ඇති බවයි එම මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ.