AFC Banner
Empty Ad
Empty Ad

වප් පුර පසළොස්වක පොහොය අදයි

වප් පුර පසළොස්වක පොහොය දිනය අද (17) දිනට යෙදී තිබෙනවා.

වස් සාර මාසයේ අවසාන මාසය ආරම්භ වන්නේ වප් පුර පසළොස්වක පොහොය දිනයෙන්.

කඨින චීවර පූජා කරන මාසයේ සමාරම්භක දිනය වප් පොහොයෙන් ඇරඹෙන හෙයින් මෙම මාසය චීවර මාසය ලෙස ද බෞද්ධ සාහිත්‍යයේ යෙදෙනවා.

කඨිනය හැර වෙනත් ඕනෑම බෞද්ධ පූජෝත්සවයක් වර්ෂයේ නියම කරගත් අභිමත දිනකදී හෝ වර්ෂයේ කිහිප අවස්ථාවකදීම සිදු කළ හැකි වුවත් කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය සිදුකළ හැකි වන්නේ එක් වසරක් තුළ එක් තැනෙකදී එක් වරක් පමණකි.

ඒ වප් පොහොය දිනය එළඹුණු මාසයේ පමණක් වීම ද මෙම පොහොයේ වැදගත්කම අතර වනවා.

සත් වැනි වස් කාලය තව්තිසා දිව්‍ය ලෝකයෙහි ගත කළ බුදුරජාණන් වහන්සේ සංකස්ස නගර ද්වාරයට වැඩම කළේ ද වප් පුර පසළොස්වක පොහොය දිනෙක වන අතර දිව්‍ය බ්‍රහ්ම සමූහයාගේ පංචතූර්ය වාදනයෙන් හා සාදු නාදයන් මධ්‍යයේ අප්‍රමාණ බුද්ධශ්‍රීයෙන් සංකස්ස නගර ද්වාරයට බුදුරදුන් වැඩම කළ කල්හි ඒ අසිරිය දුටු සියල්ලෝම බුදුවන්නටම ප්‍රාර්ථනා කළ බවයි බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන්නේ.

දේවාවරෝහණ නම් වූ මෙම මහා පූජෝත්සවය දැකීමෙනුත් බුදුරදුන් හා සැරියුත් මාහිමියන් අතර වූ ප්‍රශ්න විසර්ජන සාකච්ඡාව ශ්‍රවණය කිරීමෙනුත් අපමණ ප්‍රසාදයට පත් මෛත්‍රීය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි පැවිදි බවට පත් වූයේ ද වප් පුර පසළොස්වක පොහොය දිනෙක යි.

එමෙන්ම අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ නියමයෙන් දේවානම්පියතිස්ස රජුගේ සංදේශයත් තුටු පඬුරුත් රැගෙන ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ රාජකීය දූත පිරිසක් දඹදිව පැලලුප් නුවර සිටි ධර්මාශෝක අධිරාජයා වෙත පිටත්කොට හැරියේත් වප් පොහොය දිනෙක වනවා.

එම දූත චාරිකාවෙහි අරමුණ වූයේ සංඝමිත්තා මහ රහත් තෙරණිය සිරිලකට වැඩම කරවාගෙන ලක්දිව පැවිද්ද බලාපොරොත්තුවෙන් සිටි අනුලා දේවිය ප්‍රමුඛ කුල කතුන් සුසන්ගත කරවීමයි.

ථූපාරාම විනය සංගායනාව ද සිදු වූ මෙම උතුම් පොහෝ දිනයේ සිට සෑම වසරකම ඇසළ පොහෝදා සිට වප් පොහෝදා දක්වා යෙදෙන වස් කාලය සැදැහැවතුන්ගේ පුණ්‍ය කාලයයි.

වස් පින්කම් මාලාව අවසන් වනුයේ කඨින චීවර පූජා පුණ්‍ය මහොත්සවයෙන් වන අතර වප් පුර පසළොස්වක පොහෝදා සිට මෙම කඨින මහා පින්කම් ඇරඹෙනවා.

එය අවසන් වන්නේ ඉල් පුර පසළොස්වක පොහොය දිනයෙන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?