ගොරකානේ හෝටලයක සිටි චීන්නු විස්සක් පොලිස් අත්අඩංගුවට

බස්නාහිර බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත පානදුර, ගොරකාන ප්‍රදේශයේ හෝටලයක ලැඟුම්ගෙන සිටි චීන ජාතිකයින් 20 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර උතුරු පොලිසියේ ස්ථානාධිපති සංජීව ලක්මාල්ට, බස්නාහිර බුද්ධි කොට්ඨාශයේ නිලධාරින්ගෙන් තොරතුරු ලැබීමෙන් පසු වහාම ක්‍රියාත්මක වූ පානදුර උතුර පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් සහ පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් ගොරකාන ප්‍රදේශයේ හෝටලයක සිදුකළ වැටලීමකදීයි මෙම චීන ජාතිකයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී වීසා නොමැතිව රැඳී සිටි මෙම චීන ජාතිකයින් සන්තකයේ තිබී ලැප්ටොප් පරිගණක 05ක්, ජංගම දුරකථන 437ක් ඇතුළු තවත් උපකරණ මොවුන් සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.

මෙම පිරිස විසින් නවාතැන්ගෙන සිටි හෝටලයට මාසිකව ලක්ෂ විස්සක කුලී මුදලක් ද ගෙවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු චීන ජාතිකයින් අද (09) දින පානදුර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.