ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා.
ඒ, එවකට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමතිතුමා සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමතිතුමා ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාවකට අනුවයි.
එය පසුගිය මැයි මස 22 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡාවට ගන්නා ලද අතර එහිදී අදාළ සියලුම පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ සංකල්ප පත්‍රිකාව තවදුරටත් විශ්ලේෂණය කිරීම යෝග්‍ය බවට තීරණය කරනු ලැබුවා.
ඒ අනුව, ඉඩම්, වනජීවී හා වන සංරක්ෂණ, පරිසර සහ මුදල් යන විෂයයන් පැවරී ඇති අමාත්‍යාංශවල නිලධාරින්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරින් මෙන්ම අදාළ ක්ෂේත්රය පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා වට කිහිපයක් පවත්වා අදාළ මූලික කෙටුම්පත තවදුරටත් වැඩිදියුණු කර තිබෙනවා.
එකී මූලික කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වාර්තා වන්නේ.
