සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත් බව කියන පියුමි හංසමාලී නම් නිරූපිකාව මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08ක පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් විනිසුරු (වැඩ බලන) රහස් පොලිසියට අවසර ලබා දී තිබෙනවා.
රහස් පොලිසියේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් අනුවයි මෙම බැංකු වාර්තා කැඳවීමට නියෝගය ලබා දුන්නේ.
‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත කළ පැමිණිල්ලක් අනුව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා සහ උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල් අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.
කොළඹ හිල්ටන් රෙසිඩන්ට් හි පදිංචි පියුමි හංසමාලි රුපියල් ලක්ෂ 800කට ‘රේන්ජ් රෝවර්’ වර්ගයේ රථයක් මිල දී ගැනීම, කොළඹ 07 නිවාස සංකීර්ණයකින් රුපියල් මිලියන 148ක නිවසක් මිල දී ගැනීම, කෙටි කාලයක් තුළ දී ප්‍රධාන බැංකු අටක පවත්වාගෙන යන බැංකු ගිණුම් 19 හරහා කෝටි ගණනක් මුදල් තැන්පත් කිරීම ඇතුළු සැක සහිත ලෙස දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනයන් සිදු කෙරෙනු ඇති.
2011 අංක 40 දරණ පනතින් සංශෝධිත 2006 අංක 6 දරණ මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම විමර්ශනය සිදු කරන අතර රහස් පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාවරයා බැංකු ගිණුම් වාර්තා කැඳවීමට පොලිසියට අවසර ලබා දෙමින් විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද දන්වා පැමිණිල්ල බහා තැබූ බවත් වාර්තා වනවා.