පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට එරෙහි පෙත්සම් විභාගය කල් යයි

ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය මේ මස 05 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම නඩුව අද (03) විභාගය සඳහා කැඳවනු ලැබූව ද පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරියක් අද දින නිවාඩු ලබාසිටීම හේතුවෙන් එම පෙත්සමේ විභාගය මේ මස 05 වනදා දක්වා කල් තබන බව විනිසුරු මඩුල්ල නියෝග කළා.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නියමිත පරිදි එදින නොපැවැත්වීම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනුකර තිබෙනවා.