කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළු වීම සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද අන්දමන් හා නිකොබාර් දූපත් ආශ්රිත මුහුදු ප්රදේශයේ පැවති හොඳින් පැහැදිලිව පවතින අඩු පීඩන කලාපය, මේ වන විට ‘ පීඩන අවපාතයක් (depression) දක්වා වර්ධනය වී ඇති බවයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
අද (31) දින පෙරවරු 11.30 වන විට, එම පද්ධතිය උතුරු අක්ෂාංශ 10.0° සහ නැගෙනහිර දේශාංශ 90.2° ආසන්නයේ කේන්ද්රගතව පැවති බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වුණේ.
මෙම පද්ධතිය බටහිර – වයඹ දෙසට ගමන් කරමින්, අද (31) දින රාත්රී 11.30 පමණ වන විට ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය ආශ්රිතව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතින බව කාලගුණ වදිය දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
තවදුරටත් බටහිර – වයඹ දෙසට ගමන් කරමින්, නොවැම්බර් මස 01 වන දින පෙරවරු 11.30 පමණ වන විට ගිනිකොණ දිග සහ ඊට යාබද නිරිතදිග හා බටහිර – මධ්යම බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය ආශ්රිතව සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතින බවත් නිවේදනයේ සඳහන්.
ඉන් අනතුරුව, නොවැම්බර් මස 02 වන දින පස්වරු 05.30 පමණ වන විට ආන්ද්රා ප්රදේශ් වෙරළට ආසන්න බටහිර -මධ්යම බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය වෙත ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
පහත සිතියමේ ” අනතුරු ඇඟවීමේ ” කාණ්ඩයට අයත් මුහුදු ප්රදේශ වල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 70 දක්වා ඉහළ යා හැකි අතර, ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැකි අතර මෙම මුහුදු ප්රදේශ ඉතා රළු විය හැකි බව ද කාලගුණ නිවේදනයේ සඳහන්.
එමනිසා උතුරු අක්ෂාංශ 10 ත් 15 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 90 ත් අතර මුහුදු ප්රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතු වලින් වළකින ලෙසත් එම මුහුදු ප්රදේශවල ධීවර සහ නාවික කටයුතු වල යෙදෙන ප්රජාවන් ආරක්ෂිත ප්රදේශ කරා යාත්රා කරන ලෙසත් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබෙනවා.
