නාවලපිටිය මූලික රෝහලේ සායනික පුහුණු කටයුතුවලට ගොස් සිටියදී මහවැලි ගංඟාවේ ගල්පොත්ත නැමැති ස්ථානයේ නෑමට ගොස් දියේ ගිලුණු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ තෙවන වසරේ සිසුවා නාවලපිටිය මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත මාරුකර එවා තිබෙනවා .
විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි අධීක්ෂණය යටතේ වෛද්‍ය සිසුවා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති, මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතාගෙන් සිදුකළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේය.
මෙම සිසුවා සමඟ තවත් සිසුන් දෙදෙනෙකු 23 දා දියේ ගිලී තිබෙන අතර ඉන් දෙදෙනා මහත් පරිශ්‍රමයක් දරා ජලයෙන් පිටතට පැමිණ සිද්ධිය පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන ඉසුරු මදුෂාන් තිලකරත්න සිසුවා විනාඩි 20 ක පමණ කාලයක් ජලයේ ගිලී සිට ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව ඔහු ගොඩගෙන වෛද්‍ය සිසුන්ගේ ද සහය ඇතිව රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබිණි. වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු වලට අදාළ සායනික පුුහුණුව සඳහා මෙම සිසුවා තවත් සිසුන් 45 දෙනෙකු ගේ කණ්ඩායමක් සමඟ විශ්වවිද්‍යාල බස් රථයකින් නාවලපිටිය රෝහලට 23 දා ගොස් ඇත. පුහුණුව අවසන් කර සිසු පිරිසක් අදාළ බස් රථයෙන් විශ්වවිද්‍යාලයට පැමිණ තිබෙන අතර මෙම සිසුවා ඇතුළු වෛද්‍ය සිසුන් තිදෙනෙකු සමඟ ගල්පොත්ත නැමැති ස්ථානයේ දිය නෑමට ගොස් තිබේ.













