මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේදී ඉකුත් (08)වන දින රාත්රියේදී නිවසේ එකට විසූ ඥාතිවරයා ඝාතනය කොට පලා ගොස් සැඟව සිටි සැකකරුවෙක් පැය 48 ක් ගතවීමට මත්තෙන් (10) වන දින සන්ධ්යාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු (68)ක් වන පල්ලියගුරුගේ ප්රේමරත්න නැමැති මොරටුව, සොයිසාපුර, 2-සී, මහල් නිවාස සංකීර්ණයේ පදිංචි පුද්ගලයෙක්.
මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු හා මරණකරු යන දෙදෙනා ඥාතීන් වන බවත් කලක පටන් මොවුන් දෙදෙනා නිවසේ එකට ජීවත්ව ඇති බවත් සිදුවීම සිදු වූ දින රාත්රියේදී දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සැකකරු විසින් මෙම ඝාතනය සිදු කොට පලා ගොස් තිබූ බවත් පොලීසිය පැවසීය.
සිද්ධිය සිදුවූ දින නිවස දෙසින් විශාල කෑගසන ශබ්දයක් අසල්වැසි නිවසේ පදිංචි කාන්තාවකට ඇසී මේ පිළිබඳව සෝදිසි කර බැලීමේදී සැකකරු නිවසෙන් පලා දිවයන ආකාරය දුටු බවත් විමර්ශන පැවැත්වූ පොලිස් කණ්ඩායමට ප්රකාශයක් ලබාදෙමින් පැවසූ බවත් ඒ අනුව විමර්ශන කටයුතු ආරම්භකර සැකකරු සොයා පරීක්ෂණ සිදු කළ බවත් පොලිසි පැවසීය.
(10) වන දින රාත්රියේ මෙම ඝාතනයට සම්බන්ධ සැකකාර පුද්ගලයා සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ප්රජා ශාලාව අසල ස්ථානයක සැඟව සිටින බවට ලද තොරතුරක් මත අත්අඩංගුවටගත් බවත් ඉන් අනතුරුව මෙම ඝාතනය පිළිබඳ සැකකරුගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදී දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමේදී මොට ආයුධයකින් පහර දුන් බවත් තම ඥාතිවරයා එම අවස්ථාවේදී සිහිමුර්ජාවී නිවසේ ඇද වැටුණු බවත් ඉන් අනතුරුව තමන් බියට පත්වී නිවසෙන් පලා ගිය බවත් සැකකරු පොලිස් නිලධාරීන්ට ප්රකාශ කළ බවද පොලිසිය පවසයි.
සිද්ධියට සම්බන්ධ සැකකරු (30) වැනි වියේ පසුවන මොරටුව ප්රදේශයේ පදිංචි කරුවෙකි.සැකකරු (11) වන දින මොරටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
