මුහුදට ගසාගෙන ගිය කාන්තාවක සහ ළමුන් පිරිසක් බේරගන්න ගිහින් අවසන් ගමන් ගිය සිවිල් ඉංජිනේරුවා

මුහුදේ ගසා ගෙන යමින් සිටි කාන්තාවන් සහ කුඩා ළමුන් පිරිසක් බේරාගැනීමට මුහුදට පැන ඇති බව කියන සිවිල් ඉංජිනේරුවකු පෙරේදා (11 දා) දින පස්වරුවේ මුහුදු රළ පහරට හසුව මියගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි.

මියගොස් ඇති පුද්ගලයා මතුගම කලූපහන ප්‍රදේශයේ පදිංචිව සිටි ඞී. ඞී. එස්. එව්. උදය කුමාර නමැති 31 හැවිරිදි සිවිල් ඉංජිනේරුවෙකි.

එදින පස්වරු 5.50 ට පමණ ඔහු තවත් පිරිසක් සමග කැලිඩෝ වෙරළ තීරයට පැමිණ එහි ඇති ගල් බැම්ම මත ඇවිද සිරි නරඹමින් ඡායාරූප ගනිමින් සිටියදී කුඩා ළමුන් පිරිසක් රළ පහරට හසුව ඇති බව දැක තිබේ. කුඩා දරුවන් බේරාගැනීම සඳහා කාන්තාවන් කිහිප දෙනෙක් මුහුදට බැස ඇති අතර ඔවුන්ද රළ පහරට හසුව සිටියදී ඔහු මුහුදට පැන කාන්තාවන් සහ දරුවන් බේරාගැනීමට සහාය වී ඇතැයි පොලිසිය කියයි. 

එහිදී හදිසියේම ඔහුද රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර තවත් පිරිසක් එක්ව ඔහු බේරා ගෙන සුවසැරියෙන් නාගොඩ මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංක සිල්වා මහතාගේ උපදෙස් පරිදි සැරයන් ඩබ්ලිව්. ඒ. පී. ජයලාල් (42259)පරීක්ෂණ පවත්වයි.