ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරය අද පනාගොඩ යුද හමුදා කඳවුරේ දී අභිමානවත් අයුරින් සමරමනු ලැබුවා.
ඒ, ශ්‍රී ලංකා යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.
2026 යුද හමුදා දින පෙළපාළිය රෙජිමේන්තු 25ක් නියෝජනය කරමින් නිලධාරීන් 78 දෙනෙකු සහ සෙසු නිලයන් 652 දෙනෙකුගෙන් සහ වර්ණ ධජගනයන්ගෙන් සමන්විත වුණා.
යුද හමුදා සංවත්සර දින පෙළපාලියේ අංගයක් වශයෙන් පසුගිය වසර තුළ සුවිශේෂී සේවාවක් ඉටු කළ යුද හමුදා සාමාජිකයින් 07 දෙනෙකු වෙත යුද හමුදාධිපති ප්‍රශංසා ලාංඡන පැළදවීම සිදු කරනු ලැබුවා.
ජාතික හදිසි අවස්ථාවන්හි දී තම ජීවිත අවදානම ද නොතකා දැක්වූ නිර්භීතකම, අවංකභාවය සහ පරාර්ථකාමී සේවය අගයමින් ඔවුන් මෙලෙස ඇගයීමට ලක් කෙරුණා.
මේ අතර ත්‍රිවිධ හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා යුද හමුදාවට සිසුන් දායාද කළ පාසල් ඇගයීමක් ද සිදු කිරීම විශේෂත්වයක්.
ඒ, අනුව පාසල් ඇගයීමේ අවස්ථාවේ දී සේවයේ නියුතු සාමාජිකයන් සංඛ්‍යාව පදනම් කරගනිමින් කාණ්ඩ හතරක් යටතේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන හිමිකරගත් පාසල් සඳහා යුද හමුදාධිපති විසින් සම්මාන පිරිනමනු ලැබුවා.
උත්සව සභාව අමතමින් යුද හමුදාධිපති ශ්‍රී ලංකා යුද හමුදාවේ අභිමානවත් උරුමය පිළිබඳව සිහිපත් කළ අතර, මාතෘභූමියේ ආරක්ෂාව වෙනුවෙන් සිය කැපවීම සහ පරිත්‍යාගය පිරිනැමූ පරම්පරා ගණනාවක වීරෝදාර රණවිරුවන්ට සිය උපහාරය පුද කළා.
