මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ විත්තිකරුවන් 5ක් නිදොස් කොට නිදහස්

උතුරු මුහුදු තීරයේදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 196ක් ආනයනය කිරීම, සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා එල්ල වී සිටි විත්තිකරුවන් පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියෝග කර තිබෙනවා.

ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි මෙම තීන්දුව ලබා දුන්නේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරු සඳහන් කළේ විත්තිකරුවන්ට එල්ල කර තිබූ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බවයි.

මෙම නඩුවේ දී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක හිරියාදෙනිය විසින් ලබාදුන් සාක්ෂිය පිළිගත නොහැකි බව සඳහන් කළ අධිකරණය මෙම සිද්ධියට අදාළව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව ද පිළිගත නොහැකි බව පැවසුවා.

මෙම සිද්ධියට අදාළව විමර්ශන සිදුකර ඇති ආකාරය සම්බන්ධයෙන් දැඩි විමතිය පළ කර සිටි විනිසුරු මඩුල්ල විමර්ශන නිසියාකාරව සිදු කරනු නොමැති අතර පොලිසිය විසින් ඉදිරිපත් කළ සාක්ෂි එකිනෙකට පරස්පර බවයි කියාසිටියේ.

ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති හෙයින් ඔවුන් නිදොස් කොට නිදහස් කරන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළා.

2019 වසරේ අප්‍රේල් මස 21 වනදා ත්‍රිකුණාමලයේ සිට කිලෝ මීටර් හාරසියයක් පමණ ඈත ජාත්‍යන්තර මුහුදේ දී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 196.986 ක් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම විත්ති කරුවන් පස්දෙනා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

අනතුරුව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව පවරනු ලැබුවා.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ගොනුකර ලද ප්‍රථම මත්ද්‍රව්‍ය නඩුව මෙය වීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?