රාජ්ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමේ තීන්දුව ප්රකාශ කිරීම ජුනි මස 6 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
මෙම පෙත්සමට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා මැයි මස 18 දිනට පෙර ගොනු කරන ලෙසත් අධිකරණය පාර්ශ්වකරුවන්ට දැනුම් දුන්නා.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කළා.
සමාජ ක්රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.
පෙත්සම්කරු කියා තිබුනේ රාජ්ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය බ්රිතාන්ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇය මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම මෙරට ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි බවයි.
එබැවින් රාජ්ය අමාත්යවරිය මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම නීති විරෝධී යැයි තීන්දු කොට මන්ත්රී ධූරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසට පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
