කස්සප හිමි පය ලිස්සා වැටිලා – බොරු කියලා මහජනයා කුපිතකරන අයට වැඩ වරදියි

කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහනය නිරතව සිටිය දී පොලිස් නිලධාරීන් විසින් පහර දුන් බව බවට චෝදනා කරමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඊයේ (17) පස්වරුවේ සුව සැරිය ගිලන් රථයකින් ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ෆෙඩ්රික් වුට්ලර් සඳහන් කළේ පොලිසිය විසින් පහරදුන් බවට සිදුකරන චෝදනා අසත්‍ය බවයි.

එම චෝදනා ප්‍රතික්ෂේප කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, බලංගොඩ කස්සප හිමියන් එම ස්ථානයේදී පය ලිස්සා වැටී ඇති බවත්, ඒ අනුව රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව ඊයේ (17) පස්වරුවේ රෝහල් ගත කළ උන්වහසේ ඊයේ දින රාත්‍රියේම ප්‍රතිකාර ලබාගෙන රෝහලෙන් පිටව ගොස් ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීම පදනම්කරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකරමින් මහජනයා කුපිතවන ආකාරයට කටයුතු කරන පුද්ගලයින් පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව සඳහන් කළ ඔහු, එවැනි කටයුතු කරන පුද්ගලයින්ට නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවයි ඔහු අවධාරණය කර සිටියේ.

මේ අතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ දී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය අද (18) දිනයේත් ක්‍රියාත්මක වනවා.

පෙරේදා (16) දින පස්වරුවේ විහාර මහාදේවී උද්‍යානයට වැඩම කළ භික්ෂූන් වහන්සේලා විසින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කරනු ලැබුවා.