සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත අතර ඕක්ලන්ඩ් හී ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේදී අද (02) පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් සුපිරි පන්දුවාරයේ දී අති විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.
මෙම ජයත් සමඟ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග එකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තා.
මේ අතර මෙම තරගයේ සජීවී විකාශය අතර තුර, රූපවාහිනී තිරයේ දිස්වන ලකුණු සටහනේ නවසීලන්තයේ නිල නාමය ඔටේඅරෝඕආ (Aotearoa) ලෙස වෙනස්කර තිබීම පිළිබඳව මෙරට ඇතැම් මාධ්‍ය පුවත් වාර්තා කර තිබුණා.
නවසීලන්තයේ ආදීවාසීන් ලෙස සැළකෙන මාඕරිවරුන් සිය මව්බිම (නවසීලන්තය) හඳුන්වන නාමය ලෙස දැක්වෙන්නේ ඔටේඅරෝඕආ (Aotearoa) ලෙසයි.
ඒ, අනුව අද තරගය රූපවාහිනිය ඔස්සේ විශාල මාඕරිවරුන් පිරිසක් නැරඹීමත් සමඟ ඔවුන්ගේ ද පහසුව සඳහා මෙලෙස නවසීලන්ත නිළ නාමය, ඔටේඅරෝඕආ (Aotearoa) ලෙස රූපවාහිනී තිරයේ දිස්වන ලකුණු සටහනට ආදේශ කර ඇති බවයි දැනගන්නට ලැබුණේ.
එමෙන්ම අභාවයට යමින් ඇති මාඕරි භාෂාව, අභාවයට යාමෙන් වළක්වා ගැනීමට ගත් එක් උත්සාහයක් ලෙස ද මෙලෙස තරග තුළ දී මාඕරි භාෂාවෙන් නම් හඳුන්වා තිබීම සැළකිය හැකියි.
ඔටේඅරෝඕආ (Aotearoa) යන වචනයේ තේරුම ලෙස දැක්වෙනේ ‘දිඟු වළාකුළු ඇති දේශය’ යන්නයි.
මේ අතර එම ලකුණු සටහනේ ශ්‍රී ලංකා නාමය ද ප්‍රදර්ශනය කර තිබුනේ මාඕරි භාෂාවෙන් හිරකා (Hiraka) ලෙසටයි.
හිරකා (Hiraka) යන්නේ තේරුම වන්නේ “සේද රාජ්‍යය” යන්නයි.














