රාමසාන් සමරන මුස්ලිම් රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක්

මෙවර රාමසාන් සමය තුළ මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට යාඥා සහ ආගමික වතාවත්වල නිරත විය හැකි වන පරිදි විශේෂ වැඩපිළිවෙළක් සකස්කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න කියා සිටියේ ඊට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ (04/2023) සියලුම අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු , දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති බවයි.

මෙම නව චක්‍රලේකයට අනුව සියලුම මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට ආගමික වතාවත්වල යෙදිය හැකි වන පරිදි වැඩමුර සකස් කර දියයුතු වනවා.

මීට අමතරව නොවැළැක්විය හැකි අවස්ථාවල දී පමණක් විශේෂ නිවාඩු අනුමත කිරීමට ද මෙම චක්‍රලේඛය අනුව සිදු කළ හැකියි.

රාමසාන් අවසන් වීමට දින 14කට පෙර රාජ්‍ය සේවයේ, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සුදුසුකම් ඇති මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට උත්සව අත්තිකාරම් ලබා දීමට ද අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද ලේකම්වරයා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

2023 රාමසාන් සමය එළෙඹෙන 23 වන දින ආරම්භ වී අප්‍රේල් 21 වන දිනෙන් අවසන් වීමට නියමිතයි.