මෝදිගේ නිදහස් වෙළෙඳ ගිවිසුම් නිසා ඉන්දියාවට ඩොලර් බිලියන 140ක වාසියක්

ඉන්දියාව වේගයෙන් පුළුල් කරමින් සිටින නිදහස් වෙළෙඳ ගිවිසුම් ජාලය හේතුවෙන් 2035 වසර වන විට එරට දළ දේශීය නිෂ්පාදිතයට අමෙරිකානු ඩොලර් බිලියන 140ක පමණ වර්ධනයක් එක්විය හැකි බව බ්ලූම්බර්ග් පුවත් සේවය පළ කළ විශ්ලේෂණයක දැක්වෙනවා.

අමෙරිකාව වඩාත් ආරක්ෂණවාදී වෙළෙඳ ප්‍රතිපත්ති අනුගමනය කිරීම, ඉන්දියාවට අනපේක්ෂිත ආර්ථික වාසියක් බවට පත්විය හැකි බව එම විශ්ලේෂණය පෙන්වා දෙනවා. ඒ අනුව, රටවල් තම සැපයුම් ජාල විශ්වාසදායක වෙළෙඳ හවුල්කරුවන් වෙත යොමු කරමින්, වඩාත් වාසිදායක වෙළෙඳපොළ ප්‍රවේශයන් සොයන පසුබිමක ඉන්දියාව ද නිදහස් වෙළෙඳ ගිවිසුම් පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ලෝක වෙළෙඳ සංවිධානය විසින් සකස් කරන ලද ගෝලීය ආර්ථික ආකෘතියක් පදනම් කරගනිමින් සිදුකළ ඇස්තමේන්තුවකට අනුව, මෙම ගිවිසුම් මගින් ඉන්දියාවට නව වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමටත්, ආනයන වියදම් අඩු කර ගැනීමටත්, විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත් අවස්ථාව සැලසිය හැකියි. එමෙන්ම, රටේ ඵලදායිතාව ඉහළ නැංවීමට ද එය දායක විය හැකි බව සඳහන්.

නිෂ්පාදන ක්ෂේත්‍රයේ තරගකාරීත්වය ශක්තිමත් කිරීම සඳහා පසුගිය දශකය තුළ ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණවලින් තවදුරටත් ඵලදායිතා වාසි අත්කර ගැනීම, ඉන්දියාවේ ආර්ථික වර්ධනය වැඩි කළ හැකි තවත් සාධකයක් ලෙස හඳුනාගෙන තිබෙනවා.

කෘෂිකර්මාන්තයේ නියුක්තව සිටින නමුත් ප්‍රමාණවත් රැකියා අවස්ථා නොලබන සේවකයන් නිෂ්පාදන සහ සේවා අංශ වෙත යොමු කිරීමට උපකාරී වන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් ද මෙම ආර්ථික වාසි තවදුරටත් ඉහළ නැංවිය හැකි බව එම විශ්ලේෂණය පෙන්වා දෙනවා.