යාපනය මහනගර සභාවේ අයවැය තුන්වැනි වරටත් පරාදයි

යාපනය මහ නගර සභාව 2023 වර්ෂය වෙනුවෙන් වන අයවැය තෙවැනි වතාවටත් අද(28) වැඩි ජන්ද හයකින් පරාජයට පත්වුණා.

යාපනය මහ නගර සභාවේ වර්තමාන නගරාධිපති ආර්.ආර්නෝල්ඩ් මහතා ඉදිරිපත් කළ අයවැය වෙනුවෙන් පක්ෂව ජන්ද 16 ක්ද විපක්ෂව ජන්ද 22 ක්ද ලැබුණා.

මෙම මහ නගර සභාව ඉංලගෙයි තමිල් අරසු කච්චි පක්ෂය වෙනුවෙන් සභිකයින් 16 ක්, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය වෙනුවෙන් සභිකයින් 13 දෙනෙක්, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වෙනුවෙන් සභිකයින් 10 ක්,එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සභිකයින් තිදෙනෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් සභිකයින් දෙදෙනෙක්,දෙමළ විමුක්ති පෙරමුණ වෙනුවෙන් එක් සභිකයෙක් ලෙසට අසුන් බෙදී තිබෙනවා.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මහ නගර සභාවේ නගරාධිපති ලෙස දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ ආර්.ආර්නෝල්ඩ් මහතා පත්වුවද, ඒ මහතා වෙත බහුතර බලය නොලැබීම හේතුවෙන් පසුගිය 2021 වසරේ මහ නගර සභාවේ නගරාධිපති ලෙස සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය නියෝජනය කරන විශ්වලිංගම් මනිවන්නන් මහතා පත්වුණා.

එහෙත් විශ්වලිංගම් මනිවන්නන් මහතා 2022 දෙසැම්බර් 20 වැනිදා සභාවට ඉදිරිපත් කළ අයවැය පරාජය වීම හේතුවෙන් නැවත වතාවත් ආර්.ආර්නෝල්ඩ් මහතා නගරාධිපති ලෙසට පසුගිය ජනවාරි මාසයේ සිට පත්ව සිටිනවා.