පාරිභෝගිකයින්ගේ ආරක්ෂාවට බලපාන භාණ්ඩවල ප්‍රමිතිය සහ වෙළෙඳුන් විසින් පිළිපැදිය යුතු නීතිමය අවශ්‍යතා උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් බණ්ඩාරවෙල නගරයේ පිහිටි මහල් වෙළෙඳසැලට සහ නිට්ටඹුවේ පිහිටි පුද්ගලික සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පවරන ලද නඩුවකදී රුපියල් 240,000/-ක දඩ මුදල් නියම කර තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් 2026 සැප්තැම්බර් 24 දින සිදුකළ වැටලීමේදී, දේශීයව නිෂ්පාදනය කරන ලද ලීටර් 1.2ක නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් පානීය බෝතල්, අදාළ SLS 1616 ප්‍රමිති සහතික ලාංඡනය නොමැතිව රු. 295/- බැගින් අලෙවි කර ඇති බව අනාවරණය කර ගෙන තිබුණා.
එම බෝතල් අලෙවි කිරීම සහ අලෙවියට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වෙළෙඳසල් පාර්ශ්වයටත්, අදාළ ප්‍රමිති සහතික අවශ්‍යතා උල්ලංඝනය කරමින් බෝතල් නිෂ්පාදනය කිරීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් නිෂ්පාදන සමාගමටත් චෝදනා ඉදිරිපත් කර තිබෙනවා.
මීට අමතරව, අදාළ ප්‍රමිති සහතික ලාංඡනය නොමැති විදුලි දිගු රැහැන් (Extension Cords) අලෙවියට ඉදිරිපත් කිරීම සහ බහලුම් මලු සඳහා මුදල් අය නොකිරීම සම්බන්ධයෙන්ද වෙළෙඳසල් පාර්ශ්වයට චෝදනා එල්ල වුණා.
නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් පානීය බෝතල් සම්බන්ධයෙන් 2026 ජූනි 10 දිනැති අංක 2492/29 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද අංක 96 දරන විධානය සහ බහලුම් මලු සම්බන්ධයෙන් අංක 95 දරන විධානය යටතේ අදාළ චෝදනා ඉදිරිපත් කර තිබුණා.
2026 ඔක්තෝබර් 07 දින බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේදී විත්තිකරුවන් චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව අධිකරණය විසින් රුපියල් 240,000/-ක දඩ මුදලක් නියම කරනු ලැබුවා.










