අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පළා යාමේ සිද්ධියට ස්ථානාධිපති ඇතුලු පොලිසියේ 4ක් අත්අඩංගුවට

අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පළා යාම සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපල පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් නිලධාරීන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදේශ ගමන් තහනමකට ලක්ව සිටි අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු ආගමන විගමන නිලධාරීන් විසින් සිය භාරයට ගෙන පොලිසියට භාරදීමෙන් පසු පොලිස් අත්අඩංගුවේ සිටියදීයි ඊයේ රාත්‍රී පළා ගොස් තිබුණේ.

ව්‍යාජ නමකින් පෙනී සිටිමින් විදේශ රටකට පළා යෑමට තැත් කළ මෙම ප්‍රබල අපරාධකරු කටුනායක ගුවන් තොටුපළ පොලිස් අත් අඩංගුවෙන් මිදී පළා ගොස් තිබුණේ ඊයේ රාත්‍රියේ යි.

මෙම පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමග විදේශ ගත වීම සදහා ඊයේ දින රාත්‍රී මෝටර් රථ දෙකකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම පුද්ගලයාට ඔහුගේ සැබෑ නමින් සහ ඔහු පෙනී සිටින ව්‍යාජ නමින් ද ගුවන් ගමන් තහනම් දෙකක් පනවා තිබී ඇතැයි සඳහන්.

සැකකරු කළුතර දූව පන්සල පාරේ පදිංචි 28 හැවිරිදි අයෙක් බව සඳහන්.

සැකකරුට විදෙස්ගත වීම තහනම් කරමින් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබූ නියෝගයක් මතයි
කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන අංශය මගින් ඔහු විදේශගත වීම නවතා කටුනායක ගුවන්තොටුපල පොලිසිය වෙත ඊයේ (24) රාත්‍රී 7ට පමණ භාරදී ඇත්තේ.

පසුව කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ නිලධාරීන් පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත පැමිණ සැකකරු අත් අඩංගුවට ගෙන සිර මැදිරියෙහි රඳවා තබා තිබෙනවා.

එහිදී කළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු ප්‍රකාශ කර ඇත්තේ තමන් ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් පළා ආ අයෙකු වන අතර, ශ්‍රී ලංකාව පුරා පුද්ගල ඝාතන 9ක් පමණ සිදු කර ඇති බවයි.

මෑතකදී හංවැල්ල ප්‍රදේශයේ සිදු කළ ඝාතනය ද ඒ අතර වන බව සඳහන්.

මෙම ප්‍රශ්න කිරීම්වලින් පසු සැකකරු නිදහස් කර ගෙන යෑමට භික්ෂූන් වහන්සේලා දෙදෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ පොලිසිය වෙත පැමිණ තිබෙනවා.

පසුව කළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මෙම භික්ෂූන් වහන්සේලා ද ව්‍යාජ චීවරධාරීන් දෙදෙනෙකු බවට යි.

මෙම අවස්ථාවේ දී පොලිස් සිර මැදිරිය තුළ සිටි සැකකරු ඉන් පිටතට ගෙන ඇති අතර ඒ අතරතුර ඔහු කටුනායක ගුවන් තොටුපළ පොලිසියෙන් පළා ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ පිළිබඳව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පොලිසිය වෙත පැමිණ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්