රට තුළ පවතින ඉන්ධන , ගෑස් හා වී ක්ෂේත්රයන්හි ගැටලුවලට කඩිනම් විසදුම් ලබාදෙන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය .
ඉහත ක්ෂේත්රවලට අයත් නිලධාරීන් සමඟ අද ( 01 ) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවේදී මෙම උපදෙස් ලබා දෙනු ලැබීය .
ඉන්ධන මිලදී ගැනීම , බෙදාහැරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබඳ ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කරන ලද අතර එහිදී ඉන්ධන අර්බුදයෙන් පිඩාවට පත් ජනතාගේ ගැටලුවලට කඩිනමින් සහන සලසන ලෙස රත්නායක මහතා උපදෙස් දුන්නේය .
භූමිතෙල් සම්බන්ධ ගැටලුව පිළිබඳ මෙහිදී වැඩි අවධානයක් යොමු කළ අතර , එම ගැටලුව විසඳීමට ප්රමුඛතාව ලබාදෙන ලෙස ද ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා විසින් උපදෙස් ලබාදෙන ලදී .
සහල් මිල ඉහල යාම හා වී ගොවියාට සහතික මිලක් ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට බඳුන්විය . වී මිලදී ගැනීමේ දී වී අලෙවි මණ්ඩලය මුහුණ දී සිටින ගැටලු පිළිබඳ වී අලෙවි මණ්ඩලයේ ප්රධානීන් හා රාජ්ය බැංකු ප්රධානීන් සමඟ සාකච්ඡා කෙරිණි .
වී මිලදී ගැනීම කඩිනම් කරන ලෙසත් වී ගබඩා පහසුකම් වැඩිදියුණු කරන ලෙසත් ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශකවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය .
මේ වන විට පවතින ගෑස් අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර , ගෑස් මිලදී ගැනීම , ගෙන්වීම හා බෙදා හැරීම සම්බන්ධයෙන් පවතින ගැටලු ද කඩිනමින් නිරාකරණයට අවශ්ය පියවර ගැනිණ .
මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර , පාර්ලිමේන්තු මන්ත්රී නිමල් ලන්සා , ජනාධිපති ලේකම් සමන් ඒකනායක , ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක ආර් එච් එස් සමරතුංග යන මහත්වරු ඇතුළු ඉන්ධන , ගෑස් හා වී ක්ෂේත්රවල රාජ්ය ආයතන ප්රධානීන් හා බැංකු ප්රධානීන් පිරිසක් එක්ව සිටියහ .
