තලාහේන හල්බරාව ඕකිඩ් උද්‍යානය සුපිරි නිවාස සංකීර්ණය පාමුලදී තරුණයෙකුගේ සිරුරක් හමු වූ බව මුල්ලේරියාව පොලිසිය පවසනවා.
එම සිරුර එම නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි මාලඹේ ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක මෘදුකාංග ඉංජිනේරුවරයකු වශයෙන් සේවය කළ තරුණයෙකුගේ සිරුරක් බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ කවින් ලක්ෂාන් බණ්ඩාර ගුණරත්න නම් විසි හය හැවිරිදි තරුණයෙකුයි.
මහල් 12 කින් සමන්විත නිවාස සංකීර්ණයේ 09 වැනි මහලේ මෙම තරුණයා සිය මව සහ සොහොයුරිය සමඟින් පදිංචිව සිට තිබෙනවා.
සිද්ධියට අදාළ දිනයේදී මියගිය තරුණයා රාත්‍රි ආහාර ගෙන 11.30 ට පමණ නින්දට ගොස් තිබෙනවා.
පසුව මියගිය තරුණයා නිවාස සංකීර්ණයේ පාමුල ගසක් යට වැටී සිටින බවට අලුයම මවගේ ජංගම දුරකථනයට පණිවුඩයක් ලැබී තිබෙනවා.
ඒ අනුව මව සහ සොයුරිය එම ස්ථානයට ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
එම පණිවුඩය ජංගම දුරකථනය හරහා මව වෙත ලැබෙන තෙක් ඒ පිළිබඳ කිසිවක් ඔවුන් නොදැන සිට ඇති බව මව සහ සොයුරිය ලබාදුන් ප්‍රකාශයක සඳහන් වනවා.
මියගිය තරුණයා පදිංචි නිවසේ බැල්කනියට පිටස්තර කිසිවෙකුට පිටතින් ඇතුළුවිය නොහැකි ආකාරයෙන් සුදු යකඩ ආවරණයක් ඒ වටා ඉදි කර තිබෙන අතර තරුණයා බැල්කනියෙන් පිටතට පැන්නාද ? වැටුණා ද යන්න ස්ථිර ලෙස කිව නොහැකි බවත් පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකවනවා.