ජපන් නැව්වලට හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉරානය උදව් කිරීමට සූදානම් බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසා තිබෙනවා.
ජපානයේ කියෝඩෝ ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමිනුයි ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා ජපන් නැව්වලට පවතින අවහිර කිරීම තාවකාලිකව ඉවත් කිරීමේ අරමුණින් ජපන් පාර්ශ්වය සමඟ සාකච්ඡා දැනටමත් ආරම්භ කර ඇති බව ද ඔහු එහිදී සඳහන් කළා.
මේ අතර ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චිගේ ප්‍රකාශයන්ට ප්‍රතිචාර වශයෙන් ජපන් රජයේ නිලධාරියෙක් කියෝඩෝට පැවසුවේ “ඉරාන පාර්ශවය සමඟ සෘජු සාකච්ඡා යනු අවහිරය ඉවත් කිරීමට වඩාත්ම ඵලදායී ක්‍රමය” බවයි.
එක්සත් ජනපදය කුපිත නොකිරීමට උපරිම සැලකිල්ලක් දැක්විය යුතු බවත්, ජපන් යාත්‍රා හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර දුන්නද, එය පවතින බලශක්ති අර්බුදය විසඳන්නේ නැති බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.
අරගාචිගේ ප්‍රකාශය පිටුපස ඇති “සැබෑ අභිප්‍රාය” ප්‍රවේශමෙන් තක්සේරු කළ යුතු බවයි ජපාන විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.













