හිටපු සැරයන්ගේ දියණියව කඩු පොලූ රැගෙන නිවසට පැන පැහැරගෙන

කඩු, පොලූ රැගෙන විශ්‍රාමික පොලිස් සැරයන්වරයකුගේ බණ්ඩාරගම අලූත්ගම නිවසට පෙරේදා රාත්‍රී කඩාවැදුණු සංවිධානාත්මක කල්ලියක් ඔහුගේ රූමත් දියණිය පැහැරගෙන ගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය පවසනවා.

මෙලෙස පැහැරගැනීමට ලක්ව ඇත්තේ කොල්ලූපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක ගිණුම් අංශයේ සේවය කරන 25 හැවිරිදි තරුණියකි.

ඇය පැහැර ගැනීම සඳහා පැමිණි එක් පුද්ගලයකු නිවැසියන් විසින් අල්ලාගෙන පහර දීමෙන් අනතුරුව පොලිසියට භාර දී ඇත.

එම සැකකරු මේ වන විට පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, තියුණු ආයුධ පහරට ලක්ව තුවාල ලද විශ්‍රාමික පොලිස් සැරයන්වරයා බණ්ඩාරගම දිසා රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

පෙරේදා රාත්‍රී 10 ට පමණ වෑන් රථයකින් කඩු පොලූ අතැතිව පැමිණි හය දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් නිවසේ දොර ජනේලවලට තියුණු ආයුධවලින් පහර දී අනතුරුව දොර කඩා නිවසට ඇතුළු වී විශ්‍රාමික පොලිස් සැරයන්වරයාට සහ නිවසේ බඩු බාහිරාදියට පහර දී ඇත.

පිරිසක් නිවස තුළට කඩා වැදී කලබල කරන බවට කන වැකුණු විශ්‍රාමික පොලිස් සැරයන්වරයාගේ පුත්‍රයකු වහා එම ස්ථානයට කඩා පැන එක් පුද්ගලයකුට පහර දී කාමරයකට දමා දොර වසා ගෙන තිබූ අතර සෙසු පුද්ගලයන් පොලිස් සැරයන්වරයාගේ දියණිය රැගෙන වෑන් රථයෙන් පලාගොස් ඇති බව පොලිසිය කියයි.

සිද්ධිය සැලවීමත් සමග මෙම ස්ථානයට පැමිණි බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන්ට අල්ලාගෙන සිටි පුද්ගලයා භාරදී ඇති අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී පැමිණි පිරිස පිළියන්දල මඩපාත හා බටුවන්දර ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.

පිරිස සිදුකළ පහර දීමෙන් වූ තුවාල හේතුවෙන් නිවසේ තැන තැන ලේ පැල්ලම් රැසක් දක්නට ලැබුණු බවත් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

පැහැරගත් බව කියන තරුණියගෙන් සිද්ධිය වී පැයකට ආසන්න කාලයකදී ඇයගේ මවට දුරකථන ඇමතුමක් ලැබී ඇති අතර මෙම සිද්ධියට පොලිසි නොයන ලෙස තම දියණිය කියූ බව ඇය පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමින් පවසා තිබිණි.

පැහැරගැනීමට ලක්වූ බව කියන තරුණිය විවාහ කර ගැනීම සඳහා පුද්ගලයකු නිවසට පැමිණෙන බවට ද විමර්ශනවලදී හෙළිවූ බව පොලිසිය කියයි.

පැහැර ගැනීමට පැමිණි කණ්ඩායමේ සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වූ පුද්ගලයා ශල්‍යකර්මයට ලක් කිරීමට නියමිත බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

තරුණිය පැහැර ගැනීමට පැමිණි සන්නද්ධ කල්ලියේ පුද්ගලයන් අතර පෞද්ගලික බස් රථ රියැදුරකු ද සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ද, එම කල්ලියේ අනෙකුත් සාමාජිකයන් සොයා විශේෂ පොලිස් කණ්ඩායමක් යෙදවූ බව ද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
කැස්බෑව ජයසිංහ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?