හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අද (31) මරණ දඬුවම නියම කළා.
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ අධිචෝදනාවල නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම දඬුවම නියම කළා.
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබිය දී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම තුළ සාපරාධී ලෙස වගකීම් පැහැරහරිමින් පුද්ගලයින් 275 දෙනෙකුගේ මරණය සිදුකිරීම සහ 500කට ආසන්න පිරිසකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා 855ක් යටතේ අධිචෝදනා ගොනු කළා.
එම අධි චෝදනා 855න් 854කට ඔහු වරදකරු කෙරුණා.
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරුවරු පුජිත් ජයසුන්දර වරදකරු බව තීරණය කළ අතර, විනිසුරු විරාජ් විරසුරිය විනිසුරුවරයා තීන්දු කර ඇත්තේ අදාළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත්ව ඇති බවයි.
ඒ, අනුව බහුතර තීන්දුවෙන් මරණ දඬුවම නියම කෙරුණා.













