වරුණි බෝගහවත්ත කියන නමයි ඒ රූපයයි බොහෝ දෙනෙකුට සමීපයි. කොළඹ ජාතික රෝහලේ මුදල් මංකොල්ලය කළ දොස්තරවරයාගේ බෙල්ලෙන් අල්ලාගත් සිද්ධිය නිසා මුළු ලංකාවම ඇය ගැන කතා කරන්න පටන් ගත්තා. ඒ වගේම ළමා හා කාන්තාවන්ට පිහිට වන ඇය ගැන කතා කරන්න අපි කල්පනා කළා. ප්‍රධාන පොලිස් පරික්ෂිකා ගාල්ල කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති වරුණි බෝගහවත්ත ගැන තොරතුරුයි මේ.
98, 99 වර්ෂයේ සිට ඔබ කරන කාර්යයන් මාධ්‍ය ඔස්සේ විකාශය වුණා. නමුත් ඔබ ගැන බොහෝ දෙනෙක් කතා කරන්න පටන් ගත්තේ කොළඹ ජාතික රෝහලේ මුදල් මංකොල්ලයත් එක්කයි…?
99, 2000 වර්ෂයේ ඉදලා මාව රූපවාහිණි වැඩසටහන් වලට සම්බන්ධ කරගත්තා. මම සම්බන්ධ වූ හැම කේස් එකක් වගේම මධ්‍ය වල ගියා. කුඩු, ගංජා අල්ලන මෙහෙයුම් සඳහා තමයි මුලින්ම සම්බන්ධ වුනේ. ඒවා එක්ක තමයි මම මහජනතාව අතරට ගියේ. මගේ නම බොහෝ අය දැනගෙන හිටියා. නමුත් මේ වෙද්දී සමාජ මාධ්‍ය ප්‍රබල නිසා කොළඹ ජාතික රෝහලේ වුනු සිදුවීම කතාබහට ලක් වුණා. නැවත කතාබහක් ඇති වුනා කියලා හිතනවා.
ඔබ පාසල් යන්නේ..?
මම ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවක්.
බොහෝ දෙනෙක් අනාගතයේ කරන රැකියාව ගැන හීන දකින්නේ පාසල් යන කාලේ සිටයි. ඔබත් ඔය නිල ඇඳුම ඇගලා ගන්න හීන දැක්ක කෙනෙක්ද..?
ඇත්තම කිව්වොත් මම පාසල් ඇරිලා වැඩි හරියක් හිටියේ පොලිසියේ. මගේ ඩැඩී පොලිසියේ නිලධාරියෙක්. ඒ නිසා පුරුද්දක් විදිහට මම පාසල් ඇරිලා පොලිසියට යනවා. ඒ කාලේ ඒ කියන්නේ වර්ෂ 1989 යේ ප්‍රමිලා දිවාකර කියලා මැඩම් කෙනෙක් හිටියා. එතුමියගේ ඡායාරූපයක් පත්තර පිටුවක පල වෙලා තිබ්බා. මම එය කපලා පරිස්සමට අරගෙන තිබ්බා. මම ඩැඩීට කිව්වා ලොකු වුනහම මමත් පොලිසියට යනවා කියලා.ඊට පස්සේ ඩැඩී මම කිව්වා ලොකු මහත්තරුන්ගේ දරුවන්ට විතරයි පොලිසියට යන්න පුළුවන් කියලා. ඒක මගේ ඔලුවේ තිබ්බා. ඊට පස්සේ උසස්පෙළ දෙවැනි වතාවේ කරලා ගෙදර ඉන්න කාලේ මම ගෙදරට හොරෙන් පොලිසියේ තිබ්බ ඉන්ටර්විව් එකකට ගියා. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ හිටියේ තාත්තා හිතවත් නිලධාරීන්. මම කාගේ දුවද කියලා එයාලා අදුරාගත්තා. හොරෙ අහුවුනා. ඊට පස්සේ ඒ වැඩේ හරිගියේ නැහැ. මොන දේ කලත් මම පොලිසියට බැදෙනවට ගෙදරින් කැමති වුණේ නැහැ. මම වැඩේ අතෑරියේ නැහැ. මම නැවත ඉන්ටර්විව් ගියා. ඒ අතරතුර ප්‍රතිපලත් ආවා. සම්මුඛ පරීක්ෂණයෙන් තේරුනා. අම්මා විරුද්ධ වුනා. මගේ මල්ලි නීතිඥවරයෙක් වුනා. නංගි ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියා. මම පොලිස් නිලධාරිනියක් වෙලා මගේ හීනෙ සැබෑ කරගත්තා. ඇත්තම කිව්වොත් මගේ හීනෙ මම හිටියේ පොඩි කාලේ ඉදලම තමයි.
ඔබ වැඩිපුරම විමර්ශන සිදු කරන්නේ ළමා කාන්තා දුෂණ, වංචා, මංකොල්ලකෑම් ගැන. නිල ඇඳුමක් ඇන්දත් ඊට යට ඉන්නේ ගැහැනියක්. බලපෑම් ඇති වුනේ නැහැ කිව්වොත් ඒක බොරුවක් නේද..?
ගැහැණියක් විදිහට ප්‍රශ්න අනන්ත අප්‍රමාණව ඇති වුණා. නමුත් මම විශ්වාස කරනවා කරන රාජකාරිය හැටියට කළොත් තමයි ප්‍රශ්න මතු වෙන්නේ කියලා. ඒක මම බාධාවක් කරගත්තේ නැහැ. ආශීර්වාදයක් කරගත්තා මිසක්.
ඔබ සිදුකරන ඇතැම් විමර්ශන නිසා ඔබත් සංවේදී වෙලා ඇති, එවැනි සංවේදී සිදුවීම් ගැන මතකය අවධි කළොත්..?
මම අවුරුදු 25ක්ම සිදු කරන්නේ ළමා හා කාන්තාවන් ගැන විමර්ශන. එදා ඉදලා මේ මොහොත දක්වාම හැම සිදුවීමක් නිසාම මම ගැහැනියක් විදිහට වේදනා විදිනවා, සංවේදී වෙනවා. පසුගිය කාලයේ මුළු ලංකාවම සංවේදී කළ දරුවන් දෙදෙනා වැවට විසි කළ සිදුවීම මගේ හඳවතට තදින් දැනුනා. ඔවුන්ගේ ජිවිතේ බේරා ගත්තාට පස්සේ ඔවුන්ව රැකගැනීම ඊළගට ඇති වුනු අභියෝගය වුනා. තාත්තා මැරිලා. ඔවුන් ගැන හොයලා බලනවා තවම. එක දරුවෙක් ශිෂ්‍යත්වයෙන් පාස්. අනිත් ළමයා සාමාන්‍ය පෙළට A සමර්ථ 9ක් අරගෙන. කොරෝනා එක්ක අප්‍රේල් 12 වැනිදා ඒ අම්මා මට කතා කරලා ඇඩුවා.ගෙදර හාල් ඇටයක් නැහැ. කන්න බොන්න නැහැ කියලා. මම ඇයට 10,000 ක් අතට දුන්නා. ඇයගේ නිවස හදලා දුන්නා.
දුප්පත් බොහෝ දෙනෙකුගේ අඩුපාඩු බලලා උදව් උපකාර කරන්න පුළුවන් පිරිසගෙන් උදව් ලබාගෙන ඒ වගේ අයට පිහිට වෙලා තියෙනවා.
ඒ වගේම කියන්න ඕන සංවේදී කතාවක් තියෙනවා. මම ළමා නිවසකට ගියා බලන්න. එයාලා මගේ ලගට ඇවිත් අහනවා අපේ අම්මා තාත්තා කෝ එයාලා එනවද, කවදද එන්නේ කියලා. ඒ වචන අහද්දී අවුරුද්දක් අඩන්න පුළුවන්. අම්මා කෙනෙක් විදිහට මමත් සංවේදියි. දුක හංගාගෙන රාජකාරිය කරනවා.
දවසක් පොඩි ගැහැණු ළමයෙක් මගේ අතේ එල්ලිලා ඇන්ටි මගේ අයියා බලන්න එක්කගෙන යන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒ දරුවාගේ පවුලේ දරුවෝ හතරදෙනාම ළමා නිවාස වල. මම අවසර ඉල්ලාගෙන ඒ දරුවාගේ අයියව බලන්න එක්කගෙන ගියා. පොලිස් ජීප් එකේ යද්දී ගියේ ඇය මගේ ඔඩොක්කුවේ. මොනවා හෝ අතමිටක මොලවාගෙන හිටියා. ඒ දරුවා වාහනෙන් බැහැලා අයියා ලඟට දුවගෙන ගිහින් අතමිට මොලවාගෙන හිටිය දේ දුන්නා. අතේ හංගාගෙන හිටියේ වෙරළු ගෙඩි දෙකක්. ඒ සිදුවීමෙන් පස්සේ මම උදව් කරන්න පුළුවන් පිරිස එකතු කරලා සම්බන්ධ කරලා ඒ දරුවන් හතර දෙනා තියාගෙන එකට ජිවත් වෙන්න ඒ දරුවන්ගේ අම්මාට අවස්ථාව දුන්නා නිවසක් හදලා දීලා. ඒ සිදුවීම වගේම අවුරුදු 7ක දරුවෙක් නිරුවතින්ම පොලිසියට ආ සිදුවීමත් මාව සංවේදී කළා. ඒ දරුවාට ගහලා බඩගින්නේ, නිරුවතින් වැස්සේ තෙමෙන්න තියලා තිබ්බේ එයාගේ තාත්තා. කුඩම්මා සලකන්නෙත් නැහැ. බඩගින්නේ හිටපු දරුවට කන්න එයාගේ ආච්චිට ඉඩ දීලත් නැහැ. ගහනවා කියලා තමයි ඒ දරුවා පිහිට පතාගෙන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය හොයාගෙන ආවේ. අවුරුදු 7ක දරුවෙකු ඒ විදිහට එනවා කියන්නේ මොනතරම් පිඩනයකින් දරුවා ඉන්න ඇතිද කියලා තේරෙනවා.
ඔය වගේ සංවේදී සිද්ධි එක්ක ඔබව සමාජ මධ්‍යයේ විවේචනයට ලක් වෙනවා අඩුයි නේද ..?
කිසිම මාධ්‍යයක් මට මඩ ගහන්නේ නැහැ. ඒ ගැන සතුටක් තියෙනවා. සමාජ සේවයක් එක පැත්තකින් වෙන්නේ. ඒ නිසා හොඳ ප්‍රතිචාර ලැබෙනවා වෙන්නත් පුළුවන්. මට බලපෑමක් වුනේ එක පාර්ශවයකින් විතරයි. ඒ කවුද කියලා මම දන්නවා. නමුත් ඒක මට ගැටලුවක් නෙමෙයි.
ඔබ ගන්න අවදානම් වැඩ ගැන ඔබේ සැමියාගේ ප්‍රතිචාර කොයි වගේද, ඔබ නිල ඇඳුමක් ඇගලා ගන්නවාට ඔහුගේ අකමැත්තක් තිබුනේ නැද්ද..?
මට උපරිම උදව් මගේ අම්මා තාත්තා වගේම සැමියාගෙන් ලැබෙනවා. මගේ දරුවෝ තුන් දෙනා බලාගන්නේ පවුලේ අය. එයාලා නිසා තමයි මම රාජකාරි කටයුතුවලට වෙලාවක් නොබලා සම්බන්ධ වෙන්නේ. ඇත්තම කිව්වොත් මගේ සැමියා කැමති නැහැ මගේ රැකියාවට. එයා පුද්ගලික ආයතනයක සේවය කරන කෙනෙක්. මට නිතරම එයා කියන්නේ ඕවා කරලා වැඩක් නැහැ. ඒ දේවල් වලින් පවුලට තමයි බලපෑම් එන්නේ කියලා එයා කියනවා. නමුත් මම හරිම ආසාවෙන් මගේ රාජකාරි කටයුතු කරගෙන යනවා. අත හරින්න හිත දෙන්නේ නැහැ. නමුත් මම ලස්සන පවුල් ජිවිතයක් ගත කරන බවත් මතක් කරන්න ඕන.
මේ ජිවිතේ අහියෝගයක් විදිහට දැනෙන්නේ නැද්ද, නිලධාරිනියක් විදිහට හිතුවොත් නෙමෙයි සාමාන්‍ය ගැහැනියක් විදිහට හිතුවොත්..?
මම පොලිස් ජිවිතේට ආදරෙයි. මේ රැකියාව නිසා අසරණ කි දෙනෙකුට උදව් උපකාර කරන්න පිහිට වෙන්න පුලුවන්ද. ඒ නිසා මම කොයිම මොහොතකවත් හිතන්නේ නැහැ මේ ජිවිතේ අභියෝගයක් කියලා.
හර්ෂණී වීරරත්න