හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 35ක් සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේදී අත්අඩංගුවට

හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 35යි ග්‍රෑම් 264ක් සමඟ සැකකාර ගුවන් මගී කාන්තාවක් කටුනායක ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි 35කට අධිකයි.

ඩුබායි සිට පැමිණි 18 හැවිරිදි කැනඩා ජාතික තරුණියක් විසින් මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙනවිත් තිබෙනවා.

කැනඩාවේ , ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ , හෙද පුහුණු පාඨමාලාවක් හදාරන ශිෂ්‍යාවක් වන සැකකාරිය, ඇයට සිය අධ්‍යාපන කටයුතු සදහා කැනේඩියානු ඩොලර් 12,500 ක් සහ විදේශ සංචාරයක් ලබාදීමේ පොරොන්දුව මත එම විශ්ව විද්‍යාලයයේ රියදුරෙක් මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒම සදහා ඇය වෙත භාර දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඇය මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය කැනඩාවේ ටොරොන්ටෝ නුවරින් රැගෙන, ඩුබායි වෙත පැමිණ, එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

සැකකාරිය විසින් රැගෙන විත් තිබූ ගමන් මලු 02ක් තුළ , පැකැට් 140ක් තුළ අසුරා මෙම මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 35 ග්‍රෑම් 265ක ප්‍රමාණය සඟවා ගෙන මෙරටට රැගෙනවිත් තිබුණා.