AFC Banner
Empty Ad
Empty Ad

හරීන්ගේ කො,කේන් ටෙස්ට් එක හරිද ඉරාජ්… (VIDE0)

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් බොහෝ දෙනකු තහනම් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට චෝදනාවක් පසුගිය කාලය පුරාම විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වුණි. පළමුව මෙම චෝදනාව එල්ල කළේ රන්ජන් රාමනායක මහතාය. ඒ පසුගිය යහපාලන රජය සමයේදීය. එවකට ඇමැතිවරයෙකු වූ රාමනායක මහතා එම චෝදනාව එල්ල කළේ තමන් තහනම් මත්ද්‍රව්‍ය භාවිතා කර නොමැති බව තහවුරු කරන පරීක්ෂණයක ප්‍රතිඵලද සමඟිනි. මත් කුඩු භාවිතා කරන්නන් පමණක් නොව මත් කුඩු ජාවාරම්කරුවන්ද පාර්ලිමේන්තුව තුළ සිටින බවට සිරගත වන තෙක්ම රාමනායක මහතා නිරන්තරයෙන්ම චෝදනා කළේය.

මේ අතර ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු මෙන්ම ආණ්ඩුවට හිතවත් පිරිස්ද පසුගිය කාලයේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉලක්ක කර ගනිමින් මෙම චෝදනාව එල්ල කරන ආකාරය දැක ගත හැකි විය.

ඒ ආකාරයෙන් චෝදනා එල්ල වූ විපක්ෂයේ මන්ත්‍රීවරු අතර ඉදිරියේම සිටියේ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාය. ඒ මහතා පාර්ලිමේන්තුවේ කතා කරන බොහෝ අවස්ථාවල ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු මෙම චෝදනාව ඒ මහතාට එල්ල කළහ.

මේ අතර පසුගිය සතියේදී හරීන් ප්‍රනාන්දු මහතා තම ෆේස්බුක් පිටුව හරහා සජීවීව සිදු කළ පළ කිරීමක් සෑම දෙනාගේම විමතියට හේතු විය. එහි දැක්වුණේ තහනම් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇද්දැයි යන්න තහවුරු කර ගැනීම සඳහා වන පරීක්ෂණයට ප්‍රනාන්දු මහතා මුහුණ දෙන ආකාරයය. පෞද්ගලික රෝහලකදී සිදු කළ එම පරීක්ෂණයේ ප්‍රතිඵල හරහා තහවුරු වී තිබුණේ හරීන් ප්‍රනාන්දු මහතා කිසිදු ආකාරයක තහනම් මත්ද්‍රව්‍යයක් භාවිතා කර නැති බවය. එම ප්‍රතිඵල සටහනද ඔහුගේ ෆේස්බුක් පිටුව හරහා ප්‍රසිද්ධියට පත් විය. එතැන් පටන් සමාජ මාධ්‍ය ඔස්සේද මේ සම්බන්ධ විවිධ මත පළ වන්නට විය.

අප මේ සම්බන්ධයෙන් කළ විමසීමට පිළිතුරු දුන් හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ තමන් මෙය සිදු කළේ කිසිවෙකුගේ අභියෝගයක් නිසා නොවන බවය.

“මම මේ කවුරුවත් අභියෝග කෙරුව හින්දා මේක කළේ නැහැ. ඒත් සමාජයේ මං ගැන මෙහෙම මතයක් පැතිරිලා යන එක මගේ පවුලේ අයට හොඳ නැහැ. විශේෂයෙන් මගේ දරුවන්ට. මගේ දුවයි, පුතයි දෙන්නම මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙනවා. ඉතිං ඒ අය වෙනුවෙන් මගේ නිර්දෝෂීභාවය ඔප්පු කරලා පෙන්වන්න මට ඕනෑ වුණා. ඒ හින්දයි මම මේ පරීක්ෂණයට මුහුණ දුන්නේ. දැන් මම නිර්දෝෂයි කියලා ඔප්පු වෙලා තියෙනවා.
ඇත්තටම මම මේක කරන්න හිටියේ මීට කලින්. රන්ජන් රාමනායක මැතිතුමා අපේ ආණ්ඩු කාලයේදී තමයි මේ චෝදනාව එල්ල කළේ. ඒක පොදුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාටම කෙරුව චෝදනාවක්. එතුමා ඒ වෙලාවේ මේ ටෙස්ට් එක කරලත් පෙන්නුවා. මාත් ඒ වෙලාවෙම මේ ටෙස්ට් එක කරන්න තමයි හැදුවේ. ඒ වෙද්දි මමත් ඇමැතිවරයෙක්. ඒ හින්දා ඔය විකාර කරන්න එපා කියලා අගමැතිතුමා කිව්වා. ඒ හින්දයි මට ඒ වෙලාවේ ඒ ටෙස්ට් එක කරන්න බැරි වුණේ.”

මන්ත්‍රීවරයා අදහස් දැක්වූයේ එසේය.

කෙසේ නමුත් පසුගිය කාලය පුරාම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රනාන්දු මහතාට පාර්ලිමේන්තුවේ කතා කිරීමට ඉඩ ලබා නොදුන්නේ මේ කාරණය ඉදිරියට දමමිනි. මෙම පරීක්ෂණයට මුහුණ දීම සඳහා එම චෝදනා මුල් නොවුණේදැයි අප ඒ මහතාගෙන් විමසා සිටියේ එබැවිනි.

“අපි ඉදිරිපත් කරන කරුණුවලට දෙන්න උත්තර නැති වුණාම ඒ ගොල්ලෝ කරන්නේ මඩ ගහන එක. ඒක තමයි පහුගිය කාලය පුරාම සිද්ධ වුණේ. තර්කයක් ගෙනාවම ඒක බිඳින්න තර්කයක් ගේනවා වෙනුවට මේ අය කළේ මඩ ගහන එක. චෝදනා තියෙන මාධ්‍ය නාළිකා ප්‍රධානියෝ කරන්නේ ඒවා උලුප්පලා පෙන්වන එක. ඊට පස්සේ ආණ්ඩුවේ හෙන්චයියෝ එළියේ ඉඳගෙන අපිට මඩ ගහනවා.
ඒත් මම මේ වෙලාවේ ටෙස්ට් එක කළේ නම් ඒ මඩ ගහන අයට උත්තර දෙන්න නෙවෙයි. මම කලින් කිව්ව කාරණාව තමයි ඒකට ප්‍රධාන වශයෙන් හේතු වුණේ. ”

ඒ ප්‍රනාන්දු මහතා එම පැනයට ලබාදුන් පිළිතුරය.

කොකේන් ඇතුළු තහනම් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට චෝදනා එල්ල වන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පමණක් නොවේ. එම චෝදනාව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ටද එල්ල වේ. හරීන් ප්‍රනාන්දු මහතා ලබා දුන් ආදර්ශය අනෙක් මන්ත්‍රීවරුනුත් ඉදිරියට ගෙන යා යුතු බවට මතයක් සමාජයේ ඇති වී ඇත්තේ ඒ නිසාය. තමන්ට චෝදනා එල්ල කළ මන්ත්‍රීවරුන්ටද දැන් මේ අභියෝගය එල්ල කරන්නේදැයි අප ප්‍රනාන්දු මහතාගෙන් විමසුවේ එබැවිනි.

“මගේ ජීවිතය තුළ මම කරන්නේ අන් අයගේ වැරැදිවලට සමාව දෙන එක. ඒ හින්දා මම මේක කළා කියලා කාටවත් අභියෝග කරන්න යන්නේ නැහැ. වැරැදි කරන අයට කර්මය පඩිසන් දේවි. හැබැයි ලංකාවේ ජනතාව බොහොම බුද්ධිමත්. ඒ හින්දා ආණ්ඩුවේ පාර්ශ්ව අපිට එල්ල කරන විවේචනත් බුද්ධිමත්ව එල්ල කරනවා නම් හොඳයි. ස ෆේල් කියන එක පාස් කර ගන්නනේ ඔය ඔක්කොම කරන්නේ. හැබැයි ඒකෙන් වෙන්නේ තව තවත් ෆේල් වෙන එක විතරයි.”

ඒ හරීන් ප්‍රනාන්දු මහතාගේ පිළිතුරුය.

මේ වන විට විපක්ෂයේ සිටින කැපී පෙනෙන චරිත අතරින් ඉදිරියේම සිටින්නෙකු ලෙස හරීන් ප්‍රනාන්දු මහතා හැඳින්විය හැක. ඒ මහතා මෙවැනි කාර්යයන්හි නිරත වෙන්නේ තම ආකර්ෂණය වැඩි කර ගැනීම සඳහා යැයි පවසන පිරිස්ද දක්නට ඇත. එබැවින් අප අවසන් වශයෙන් ඒ පිළිබඳව ප්‍රනාන්දු මහතාගෙන් විමසුවෙමු.

“මේ ආණ්ඩුව තමයි මාව පොරක් කළේ. නැතුව මට එහෙම පොරෙක් වෙන්න වුවමනාවක් නැහැ. හැබැයි ආණ්ඩුව කරන වැඩ හින්දා ඒක වෙනවා.”

හරීන් ප්‍රනාන්දු මහතා පිළිතුරු දුන්නේ එසේය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට අමතරව පසුගිය කාලය පුරාවට හරීන් ප්‍රනාන්දු මහතාට දිගින් දිගටම චෝදනා එල්ල කළ ප්‍රබල චරිතයක් වූයේ ජනප්‍රිය ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතාය. මීට පෙර මව්රට පුවත්පත සමඟ පැවැති සාකච්ඡාවකදීද, ඒ මහතා එම චෝදනාව එල්ල කළේය. අප ඉරාජ් වීරරත්න මහතා සම්බන්ධ කර ගත්තේ එම චෝදනාවට අවශ්‍ය පිළිතුරු ලැබුණේද, නැද්ද යන්න දැන ගැනීම සඳහාය.

“මෙහෙමයි. හරීන් ප්‍රනාන්දු මහතා කළේ මුත්‍රා සාම්පල පරීක්ෂණයක්. පැය 48ක් හෝ 72ක් වැනි කාල සීමාවකදී මත්ද්‍රව්‍ය භාවිතා කරලද නැද්ද කියන එක තමයි ඒකෙන් හොයා ගන්න පුළුවන්. හැබැයි ලෝකයේ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සම්බන්ධයෙන් සොයා ගත හැකි ප්‍රධාන පරීක්ෂණයක් තියෙනවා. ඒ තමයි ්‍ය්සර ත්‍දකකසජකැ ෘරමට ඔැිඑ කියන පරීක්ෂණය. හිස කෙස් යොදා ගෙන කරන එම පරීක්ෂණයෙන් දින 90ක කාලයක් ඇතුළත මත්ද්‍රව්‍ය භාවිතා කරාද නැද්ද කියන එක හොයා ගන්න පුළුවන්. දන්න අය ඒ ගැන හොඳට දන්නවා. ඕනෑ නම් වෛද්‍යවරයෙකුගෙන් අහලා බලන්න.”

එලෙස අදහස් දැක්වූ වීරරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ හැකිනම් එම පරීක්ෂණයට ඉදිරිපත් වන ලෙස හරීන් ප්‍රනාන්දු මහතාට අභියෝග කරන බවය.

“මම එතුමාට අභියෝග කරනවා. පුළුවන් නම් අද හෙටම ඒ පරීක්ෂණයට මුහුණ දීලා නිවැරැදි බව ඔප්පු කරන්න. හැබැයි කල් නොගෙන අද හෙටම ඒක කරන්න ඕනෑ. මම හොඳටම දන්නවා එයා ඒක කරන්නේ නැහැ කියලා. තව දෙයක්. කෙනෙක් මුත්‍රා කරන එක ෆේස්බුක් ලයිව් ඇවිත් පෙන්වනවා කියන්නේ එයාගේ මොළය අවුල් වෙලා කියන එකනේ. ඉතිං මේ මන්ත්‍රීවරයාගේ මොළේ අවුල් වෙලා කියන එක ඒකෙන්ම හිතා ගන්න පුළුවන්.”

ඒ වීරරත්න මහතාගේ අදහස්ය.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ වීරරත්න මහතා සඳහන් කළේ විපක්ෂයේ පමණක් නොව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද මෙම පරීක්ෂණය සිදු කළ යුතු බවය.

“කවුරුත් තමන්ගේ සල්ලිවලින් කුඩු ගැහුවට අපිට කමක් නැහැ. ඒ අය අල්ලන එක පොලිසියේ වගකීම. ඒත් ජනතා බදු මුදලින් යැපෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කුඩු ගහලා කෑ ගහන එකටයි අපි විරුද්ධ. දැන් අපි කිව්ව හින්දා හරීන් ප්‍රනාන්දු මහත්තයා පරීක්ෂණයක් කරලා තියෙනවා. ඒත් ඒක අපිට පිළිගන්න බැහැ. හරීන් ප්‍රනාන්දු මහත්තයා විතරක් නෙවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාම ජාත්‍යන්තරයේ පිළිගත් ්‍ය්සර ත්‍දකකසජකැ ෘරමට ඔැිඑ එකට ඉදිරිපත් විය යුතුයි කියලයි මම කියන්නේ.”

ඉරාජ් වීරරත්න මහතා අදහස් දැක්වූයේ එසේය.

සැබවින්ම ජනතාවට සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු යන මන්ත්‍රීවරුන් රටේ නීතියට පිටින් ගොස් තහනම් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නම් එය කිසිසේත් සමාව ලබා දිය හැකි වරදක් නොවන බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එවැනි පසුබිමක තමන් නිවැරැදි බව ඔප්පු කර පෙන්වීම සඳහා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ගත් ක්‍රියා මාර්ගය අගය කළ යුතුය. එමෙන්ම සියලු මන්ත්‍රීවරුන් ඒ ආකාරයෙන් තම නිවැරැදිභාවය ඔප්පු කිරීමට ඉදිරිපත් වන්නේ නම් එය ජනතාව තුළ ඇති සැකය දුරු කිරීමටද හේතුවක් වනු ඇත.

චන්දන පොන්නම්පෙරුම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?