මෑතකදී සිදුකළ තවත් විමර්ශනයක් ලෙස කෝටිපති ව්‍යාපාරිකයකු හා ලෝප්‍රකට ඉන්ජිනේරුවරයකු වූ හැටපස් හැවිරිදි වීරබද්ධ රාලලාගේ සමන් විජේසිරි නමැත්තාගේ අතුරුදන්වීමද හැඳින්විය හැකිය.
පොලිස්පතිවරයා විසින් යොමු කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරන ලද එම විමර්ශනයේදී එම ව්‍යාපාරිකයා මරා දමා ඇති බව අනාවරණය කර ගැනීමට මෙම විමර්ශන කොට්ඨාසයට හැකි විය. එම ඝාතනයද රට පුරා මහත් ආන්දෝලනයක් ඇති කරලීමට සමත් විය.
දරුවන් නොසිටි එම ව්‍යාපාරිකයා ඔහු සතු දේපළ ඔහු දැඩිසේ ආදරය කළ දරුවකුගේ නමට ලිවීමට යෑම ගැන සැලවීමත් සමඟ එම දේපළ ලබා ගැනීමේ අරමුණෙන් ඔහු ඝාතනය කර තිබිණි. ඔහු 2020 වසරේදී අතුරුදන්වී ඇති බවට පොලිස්පතිවරයාට ලැබෙන පැමිණිල්ල විමර්ශනය කිරීම අරඹන, මිනීමැරුම් හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය දැඩි වෙහෙසකාරී විමර්ශනයකින් පසුව සමන් විජේසිරි නමැත්තා ඝාතනය කර සිරුර සඟවා ඇති බව හෙළි කර ගත්තේ ඊට සම්බන්ධ වූවන්ද කොටු කර ගැනීමෙන් අනතුරුවය.
එමෙන්ම තම ජර්මානු ජාතික බිරිය ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු අතුරුදන්ව ඇති බවත් ඇය ඝාතනය කොට ඇති බවට සැකකරන නිසා ඇය ජීවත්ව ඉන්නේ දැයි සොයා බලන ලෙස ශ්‍රී ලාංකික සැමියකු ජර්මනියේ සිට එවනු ලැබූ ඊමේල් පණිවුඩයක් ඔස්සේ සිදුකරනු ලැබූ පැමිණිල්ලක් පොලිස්පතිවරයා විසින් විමර්ශන කිරීම සඳහා යොමු කරනු ලබන්නේද මෙම කොට්ඨාසය වෙතටය.
සියුම් හා තාක්‍ෂණික විමර්ශනයකින් පසු අතුරුදන් වූ හෝ ඝාතනය කර ඇතැයි කී ජර්මානු ජාතික කාන්තාව නිරුපද්‍රිතව මීගමුව ප්‍රදේශයේ රැඳී සිටින බව අනාවරණය කර ගැනීම නිසා මෙම කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ඇතුළු නිලධාරීන් පොලිස්පතිවරයාගේ දැඩි ප්‍රශංසාවට ද ලක්විය.
මෙවැනි අබිරහස් සිදුවීම් රැසක සුලමුල සොයාගෙන සාර්ථක විමර්ශනයක යෙදුණු මිනීමැරුම් හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා වෙත පොලිස්පතිවරයා හා රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඒ හා සමාන පුද්ගලයකුගේ අතුරුදන් වීමක් ගැන විමර්ශනයක් පසුගියදා භාර කෙරිණි.
2021 වසරේ සැප්තැම්බර් මස 30 වැනිදා අධ්‍යක්‍ෂවරයා වෙත භාර කෙරුණු මෙම විමර්ශනයද කෝටිපති ඉන්ජිනේරුවාගේ අතුරුදන් වීම සහ ඝාතනයට සමාන විමර්ශනයක් විය.
තම සැමියා මීට වසරකට පෙර ශ්‍රී ලංකාවට පැමිණි බවත් ඔහු ඉකුත් වසරේ මැයි මස 06 වැනිදා සිට අතුරුදන්ව ඇති බවත්, ඔහුගේ බිරිය කුසුමලතා නමැත්තිය පොලිස්පතිවරයා වෙත දන්වා තිබිණි. 58 හැවිරිදි අන්නමලේ පලනි මාඔලිව් නමැති ද්‍රවිඩ කෝටිපති ව්‍යාපාරිකයකු වන ඔහු බිරිය හා දරුවන් සමඟ වසර 15ක්ම පදිංචිව සිටියේ ඉතාලියේය.
සිංහල ජාතික කාන්තාවක් සමඟ විවාහවී සිටි පලනිට දරුවන් දෙදෙනෙකි. ස්වභාව ධර්මයට මෙන්ම පරිසරයට දැඩි ආදරයක් දක්වන ඔහු විනෝදකාමී පුද්ගලයකුද විය. වැල්ලවත්ත ප්‍රදේශයේ සුවිසල් නිවෙසක්ද ඔහුට හිමි විය. දරුවන් බිරිය සමඟ මෙරටට පැමිණි කල ඔහු රැඳුණේ එම නිවෙසේය. එහෙත් මනරම් පරිසරයක් පිහිටි තැනකින් ඉඩමක් මිලදීගෙන විවේකී සුවයෙන් ගත කිරීමට ඔහු මහත් ආශාවක් දැක්වීය.
ඒ අනුව මීට වසර අටකට පෙර මුහුණු පොත හරහා හඳුනාගත් ආණමඩුව මොන්නෑලම ප්‍රදේශයේ “ශාන්ත” නමැත්තකුගේ මාර්ගයෙන් ආණමඩුව වටුවත්තෑව වැව ආසන්නයේ අක්කර හතක ඉඩමක් මිලදී ගැනීමට ඔහුට හැකියාව ලැබිණි.
රුපියල් ලක්ෂ 80කට මිලදීගත් මෙම ඉඩමට පලනි මහත් සේ ප්‍රිය කළේය. වැව ආසන්නයේ ඉඩම පිහිටා තිබීම නිසා ඒ අවට පරිසරය ඔහුගේ සිත වෙළාගෙන තිබිණි. ඉතාලියේ සිට නිවාඩුවට පැමිණි කල ආණමඩුව ඉඩමේ දින දෙක තුනක් ගත කරන හෙයින් නවාතැන් ගැනීම සඳහා එම ඉඩමේ කුඩා නිවෙසක්ද ඔහු සකසා ගත්තේය. මේ සියල්ල සඳහා ඔහුට උදවු උපකාර කළේ ඉඩම මිලදී ගන්නට සහාය දුන් ශාන්ත නමැත්තාය. පලනි යළි විදේශගත වෙද්දී ඉඩම බලා කියා ගැනීම සිදු කළේ ශාන්ත විසින්ය.
ඉඩමේ පොල් වගා කිරීම මැනවි යැයි පලනි සිතුවේය. ඒ ආණමඩුව ප්‍රදේශයේ පොල් වගාව හොඳ ආදායමක් ලබන ව්‍යාපාරයක් නිසාය. පොල් වගා කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට වරෙක ලක්‍ෂ 30ක පමණ මුදලක් පලනි වත්ත බලා කියා ගත් ශාන්තට එවීය. ශාන්ත ඒ මුදලින් පොල් වගා කිරීම සඳහා වත්තේ වළවල් කැපීය. ඒ වළවල්වල පොල් පැළද සිටුවීය. ඒ බව පලනිටද දැනුම් දුන්නේය. තවත් මුදල් අවශ්‍ය යැයි කීවිට පලනි තවත් මුදල් ශාන්තට එව්වේය. ඒ අතරතුර නිවාඩුවකට මෙරටට පැමිණි දාට වත්තට ගොස් වගාව ගැන සොයා බැලීමටද ඔහු අමතක කළේ නැත.
පලනි මෙරටට පැමිණි පසු වැල්ලවත්තේ නිවෙසේ සිට ආණමඩුවේ ඉඩමට යන්නේ කුලී පදනම මත ගන්නා ලද වාහනයකින්ය. වාහනයක් මිලදී ගැනීමේ හැකියාව ඔහුට තිබුණද නිතර නිතර ඉතාලියට යෑම නිසා ඔහු වත්තට යන්නේ තාවකාලිකව ලබාගන්නා එවන් වාහනයකින්ය.
මෙලෙස කල්ගත කළ පලනි ඉකුත් වසරේ මැයි මාසයේ යළි මෙරටට පැමිණියේය. ඉන් අනතුරුව ඉඩම දැක බලා ගැනීමට ඔහු ආණමඩුවේ වටුවත්තෑවට ගියේය. එහෙත් එදා පලනි ඉඩමේ සිටියේ එතරම් සතුටකින් නොවීය. ඊට හේතුව වූයේ විශාල මුදලක් යොදා කළ පොල් වගාව ඉත්තෑවන් කා දැමීම නිසා වැනසී යෑමය. මේ නිසා පලනිගේ සිතට ඇති වූයේ දැඩි වේදනාවකි. ඒ බව ඔහු ශාන්තට කීවේ තරහින්ය. හරිහැටි වගාව බලා නොගැනීම ගැන හෙතෙම ෙදාස්ද කීවේය.
මෙලෙස පැමිණි පලනි ඊට දින කිහිපයකට පසු ඉතාලිය බලා යෑමට සූදානමින් සිටියේය. ඒ බව ඉතාලියේ සිටි බිරියද දැන සිටියාය. ඒත් නියමිත දින පලනි ඉතාලියට ගියේ නැත. මෙය පලනිගේ බිරියට මහත් ප්‍රහේලිකාවක් වූවාය. ඇය සිය සැමියා ගැන සොයා බැලුවාය. ලංකාවේ පදිංචි දන්න කියන අයටද ඒ බව පවසා සැමියා සොයා ගන්නට වෙහෙස දැරුවාය. ශාන්තගෙන්ද විමසුවාය. ශාන්ත කීවේ පලනි මහත්තයා යළි ඉතාලි බලා යන බව පවසා ඉඩමෙන් පිටව ගිය බවය. 2021 මැයි 06 සිට පලනි ගැන තොරතුරක් නොවීය.
කුසුමලතාට මෙය මහත් ප්‍රශ්නයක් වූවාය. සැමියා සොයා ගැනීමට බැරිම තැන ඇය මේ බව ආණමඩුව පොලිසියට පැමිණිලි කළාය. ආණමඩුව පොලිස් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ජයන්ත ඇතුළු කණ්ඩායමක් අතුරුදන් වූ පලනි සොයා විමර්ශන ඇරැඹීය.
පොලිසියට තිබූ එකම සාක්ෂිය වූයේ ශාන්තය. පලනි ගැන තොරතුරක් දන්නේ නම් ඒ ශාන්ත පමණක් විය යුතු බව නිලධාරීන්ද සිතුවේය.
“කෝ පලනි මහත්තයා….”පොලිසිය ශාන්තගෙන් ප්‍රශ්න කළේය.
“මහත්තයා ඉතාලි යනවා කියලා ගියා.”ශාන්ත පොලිසියට කීවේය.
ඒ හැරෙන්නට යමක් ඔහුගෙන් උකහා ගැනීමට නිලධාරීන්ට හැකි නොවීය. එහෙත් විමර්ශනයේදී නිලධාරීන් තවත් දෙයක් හෙළිකර ගත්තේය. පලනි අතුරුදන් වීමෙන් පසු ඔහු සතු බැංකු කාඩ්පත භාවිත කරමින් දිනකට ලක්‍ෂය බැගින් දින 14ක් තුළ ලක්‍ෂ 14ක් ශාන්ත විසින් බැංකුවෙන් ලබාගෙන ඇති බවය.
ආණමඩුව පොලිසිය සොයා ගත්තේ එපමණකි. මේ ඇයි දැයි ශාන්තගෙන් විමසද්දී ඔහු කීවේ පලනිගේ කීම මත වත්තේ වගා කටයුතු සඳහා එලෙස මුදල් වරින් වර ලබාගත් බවකි.
එතැනින් එහාට පලනි ගැන තොරතුරක් ශාන්තගෙන් අනාවරණය කර ගැනීමට ආණමඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ටද නොහැකි විය. එහෙත් සිද්ධියට සැකපිට පොලිසිය ශාන්ත නමැත්තා අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
අධිකරණය ඔහුව රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළද පසුකාලීනව පලනිගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් හෙළි නොවීම නිසා ශාන්ත මුදා හැරීමට අධිකරණය කටයුතු කළේය. එතැන් පටන් පලනිගේ අතුරුදන් වීම අබිරහසක් විය. සතියෙන් සතිය මාස දෙක තුන ගෙවී ගියද පලනි ගැන කිසිදු හෝඩුවාවක් නොවීය.
සිය සැමියාට වූ දේ සොයා ගැනීමට දස අතේ කල්පනා කරමින් සිටි ඔහුගේ බිරිය මේ සියල්ල සඳහන් කොට සැමියාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ආණමඩුව පොලිසිය කළ විමර්ශනය ගැන පැහැදීමක් නැති බව කියමින් තම සැමියා සොයා දෙන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළේ ඉන් අනතුරුවය.
පොලිස්පතිවරයාට ලැබුණු ඇගේ පැමිණිල්ල ඔහු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කරනු ලැබීය. හෙතෙම මේ ගැන සොයා බලන ලෙස දැනුම් දුන්නේ මිනීමැරුම් සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය භාර අධ්‍යක්‍ෂවරයා වෙතටය. ඒ 2021.09.30 වනදාය.
පැමිණිල්ල හොඳින් කියවා බැලූ අධ්‍යක්‍ෂ ප්‍රශාන්ත මේ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා දක්‍ෂ නිලධාරීන් දෙදෙනකු යොදවනු ලැබීය. ඒ පියල් සහ මහේෂ්වය. උප පොලිස් පරීක්‍ෂක පියල් හා සැරයන් මහේෂ් සිය කාර්යාලයට කැඳවූ අධ්‍යක්‍ෂවරයා අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කළ යුතු ක්‍රියාමාර්ග එකක් නෑර ඔවුනට පැහැදිලි කළේය. මේ සඳහා බුද්ධි නිලධාරීන්ගේ සහායද ලබාගත යුතු බව අවධාරණය කළේය.
ඉන් අනතුරුව මෙම කණ්ඩායම විසින් අධ්‍යක්‍ෂවරයා වෙත යොමු කරනු ලැබුවේ අත්අඩංගුවට ගත් සැකකාර ශාන්ත ආණමඩුව පොලිසියට දුන් කටඋත්තරයයි. ඒ පිළිබඳව අධ්‍යයනය කළ ජේයෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ශාන්තගේ කට උත්තරයේ බරපතළ නොගැළපීම් ඇති බව පෙනී ගියේය. ශාන්ත වුවමනාවෙන්ම බොරු කියා ඇති බව ඔහුට වැටහුණේය. ප්‍රකාශයේ වැදගත්ම සාක්ෂි දෙක තුනක් ඔහුට නිරීක්‍ෂණය විය. ඒ අනුව විමර්ශන අධ්‍යක්‍ෂවරයා තීරණය කළේ ශාන්ත නමැත්තාගෙන් නැවත වරක් ප්‍රකාශයක් ලබා ගත යුතු බවය.
ඒ අතර නිලධාරීහු ආණමඩුව හා ඒ අවට ප්‍රදේශවල වෙස් වළාගෙන සැරිසැරූහ. භූමිය හොඳින් නිරීක්‍ෂණය කළේය. පලනිගේ ඉඩමටද ගියේය. වත්තේ හැමතැනම වළවල් හාරා ඇති බවත් ඒ සඳහා ජේසීබී යන්ත්‍රයක් යොදගෙන ඇති බවද හෙළි කර ගත හැකිවිය. වැඩිදුරටත් සොයා බැලීමේදී ශාන්ත සතුව ජේසීබී යන්ත්‍රයක් ඇති බවත් ඔහු එම යන්ත්‍රය පදවන අයකු බවත් නිලධාරීන් අනාවරණය කරගත්තේය.
“ශාන්ත අපට කිව්වේ මේ වත්ත එයා සල්ලි දීලා ගත්තා කියලයි. ඉඳලා හිටලා එයාගේ යාළුවෙක් එනවා. එය දවස් දෙක තුනකට ඇවිත් යනවා කියලයි. අහල පහළ අය නිලධාරීන්ට කීහ. ඒ අනුව නිලධාරීන් සැක කළේ පලනිගේ පොල් ඉඩම තමාගේ බව කීමට ශාන්ත උත්සාහ ගෙන ඇති බවය. විමර්ශන නිලධාරීන් එලෙස සොයා ගත් තොරතුරු අධ්‍යක්‍ෂවරයා වෙත යොමු කළේය.
සැරයන් මහේෂ් සිය උසස් නිලධාරියාගේ උපදෙස් මත ශාන්තගේ ජංගම දුරකථනයට අදාළ විශ්ලේෂණ වාර්තාවක් සකස් කරන්නට විය. පලනි අතුරුදන් වූ දවසේ සිට ශාන්ත සිය ජංගම දුරකථනයෙන් කතා බස් කළ පුද්ගලයන් කවුදැයි සෙවීම මහේෂ්ගේ කාර්යභාරය විය. එහිදී ඔහුත් සමඟ අනියම් ඇසුරක් පැවැත්වූ කාන්තාවකගේ තොරතුරු අනාවරණය විය. නිලධාරීහු ඇගේ දුරකථනයද විමර්ශනයට ලක් කළහ. අනියම් බිරිය සිය දුරකථනයෙන් කතා බස් කළ අය කවුදැයි සොයා බැලීය.
එය ඉතා වෙහෙසකාරී ක්‍රියාවක් වුවද සැරයන් මහේෂ් එය ඉතා වගකීමකින් ඉටු කළේය. එය සවිස්තරාත්මක විශ්ලේෂණ වාර්තාවක් විය. ඊට අධ්‍යක්‍ෂවරයාගේ සතුටද හිමිවිය. ඊට අමතරව පලනි අවසන් වරට ලංකාවට පැමිණිදා සිට කතා බස් කළ දුරකථන අංකද නිරීක්‍ෂණය විය. මේ සියලු තොරතුරු තාක්ෂණ ක්‍රමවේද ඔස්සේ සකසාගත් නිලධාරීන් නැවතත් ප්‍රශ්න කිරීම සඳහා ඇප මත මුදා හැර සිටි ශාන්ත විමර්ශන කොට්ඨාසයට යළි කැඳවීය.
“අපි සේරම හොයාගෙන ඉවරයි. අපි තමන්ට කිසිම කරදරයක් කරන්නේ නැහැ. ඇත්ත කියන්න. පලනි මහත්තයාට මොකක්ද කළේ.” නිලධාරීන් ශාන්තගෙන් විමසන්නට විය. එය සාමාන්‍ය පොලිසියකින් කරන ලද ප්‍රශ්න කිරීමට වඩා හාත්පසින්ම වෙනස් වූ ආකාරයක් විය. නිලධාරීන් ශාන්තට තර්ජනය කළේ නැත. බලපෑම් කළේද නැත. ශාන්තගේ ඇඟට අතක් තැබුවේ ද නැත. ශාන්ත ආණමඩුව පොලිසියට කී දේම රහස් පොලිස් නිලධාරීන්ටද කීවේය.
“හයවැනිදා මහත්තයා වත්තට ඇවිත් ගෑනු කෙනෙක් එක්ක මුන්නේෂ්වරම් යනවා කියලා ගියා”
“ඉන්පස්සේ”
“ගිහින් 27 වැනිදා ආවා. ඇවිත් 31 වැනිදා ගෑනු කෙනා එක්ක ආයෙත් ගියා.”
“ඊට පස්සේ ආවේ නැද්ද?”
“ආවා දවස් හතරකට පස්සේ” ශාන්ත කියන කතාව ඇත්තක්දැයි නිරීක්‍ෂණය කිරීමට විමර්ශන නිලධාරීන්ට ඕනෑ තරම් ක්‍රමවේද තිබිණි. එහෙත් නිලධාරීන් ඒ වනවිටත් ඔවුන් සතුව තිබූ පලනිගේ දුරකථන විශ්ලේෂණ වාර්තාව පමණක් නිරීක්‍ෂණය කරන්නට විය. එහිදී නිලධාරීන්ට පෙනුණේ ශාන්ත කියන විදිහට 26,27 31 දිනවල පලනි වත්තෙන් පිටව ගොස් නැති බවය.
“තමුන් බොරු කියන්න එපා. මහත්තයා 26 වැනිදාට පස්සේ වත්තෙන් එළියට ගිහින් නෑ. අපිට බොරු කළත් තමන්ට තාක්ෂණයට බොරු කරන්න බැහැ. ඒක දන්නවද – ඇත්ත කියනවා කෝ පලනි මහත්තයා” නිලධාරීන් කීවේ එපමණකි. මොහොතක් බිම බලා සිටි ඔහුට තවත් බොරු කීමට නොහැකි බව ඒත්තු යන්නට ඇත. ඔහු නිරායාසයෙන්ම කටහඬ අවදි කළේය.
“පොල් වගාව ඉත්තෑවන් කෑවා කියලා මහත්තයා මට බැන්නා. මහත්තයා හිටියේ වත්තේ බංකුවක වාඩි වෙලා. අපි දෙන්නා රණ්ඩු වුණා. මම මහත්තයාව තල්ලු කළා.”
ශාන්ත සිදු වූ දේ එකින් එක කීවේය. බිම වැටුණු පලනිව ඔසවාගෙන වත්තේ නිවෙසට රැගෙන ගොස් ඉන්පසු පොල් වළකට පලනිගේ සිරුර දැමූ බවත් ශාන්ත විමර්ශන නිලධාරියාට කී අතර අඩි 3ක ප්‍රමාණයක් ඇති වළක පලනි දමා පස් දැමූ බවත් ශාන්ත නිලධාරීන්ට පැවැසීය.
ඉන් අනතුරුව ජේ.සී.බී. යන්ත්‍රය යොදා වත්තේ හැම තැනම වළවල් හෑරීමටද ශාන්ත කටයුතු කර තිබිණි. ඒ පොලිසියට නියම වළ සොයා ගැනීමට නොහැකිවන ලෙසය. ඔහුගේ ප්‍රකාශය විමර්ශන නිලධාරීන් විසින් ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දැන්වූ අතර අධිකරණයේ අවසරය මත පුත්තලම සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි කුලේන්ද්‍ර ප්‍රේමදාස මහතාගේ අධීක්‍ෂණය මත පොල්වත්තේ ස්ථානයක කැණීම් සිදු කරන්නට නිලධාරීහු පියවර ගත්හ.
අත්අඩංගුවේ පසු වූ සැකකරු පැවැසූ තොරතුරු මත එලෙස කැණීම් කළද පලනිගේ මළසිරුර සොයා ගැනීමට නොහැකි විය. ඊට නුදුරුව තවත් ස්ථානයක අඩි 8ක ප්‍රමාණයක් ගැඹුරට කැණීම් කරද්දී පැදුරක බහා එම වළට දමා තිබූ කෝටිපති ව්‍යාපාරිකයාගේ මළසිරුර සොයා ගැනීමට නිලධාරීන් සමත් විය.
අනතුරුව එම ස්ථානයට පැමිණි ආණමඩුව මහෙස්ත්‍රාත් නිමේෂිකා පටබැඳිගේ මහත්මිය විසින් වළ දමා තිබූ සිරුර ගොඩගැනීම නිරීක්‍ෂණය කොට එය පශ්චාත් මරණ පරීක්‍ෂණයක් සඳහා පුත්තලම අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කරන ලෙස නියෝග කළාය. වසරක කාලයක් අබිරහස්ව පැවැති පලනිගේ ඝාතනය දක්‍ෂ විමර්ශනයකින් පසු මෙසේ අනාවරණය කරගත හැකි විය.
කෙසේ වෙතත් මේ වනතුරු පලනි මරා දැමූ ආකාරය අනාවරණය කරගෙන නොතිබිණි. ඒ මෙතෙක් පලනිගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණයක් නොපැවැත්වීම නිසාය.
මේ අතර විමර්ශන නිලධාරීන් කීවේ පලනි සතු කෝටි ගණනක් වටිනා ඉඩම ලබා ගැනීම සඳහා ඔහු ඝාතනය කර ඇති බවට සැක කරන බවකි. සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී පලනි සතු රන් මාලය පුත්තලම ප්‍රදේශයේ බැංකුවක උකසට තබා රුපියල් ලක්ෂ 11කට අධික මුදලක්ද ඔහු සතු රන් පලඳනාව නිකවැරටිය ප්‍රදේශයේ බැංකුවක උකස් කොට රුපියල් දෙලක්‍ෂයකට වැඩි මුදලක්ද සැකකරු විසින් ලබාගෙන ඇති බව හෙළි විය. සැකකරු අධිකරණයට ඉදිරිපත් කොට රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
(පොලිස් පරීක්‍ෂණ ඇසුරෙන් සකස් විය)




