එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවෙන් තවත් 1,132ක භට පිරිසක් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
එලෙස පිටත්ව යාමට සූදානම් වන භට පිරිස් වෙත සුබපැතීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක (26) පෙරවරුවේ එක්වුණා.
ඒ, පනාගොඩ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දීයි.
විවිධ රෙජිමේන්තුවලට අයත් යුද හමුදා භටපිරිස් 900ක්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 189ක් මෙරට හමුදා ඉතිහාසයේ පළමුවරට බිම්බෝම්බ සහ මර උගුල් නිෂ්ක්‍රීය කිරීම පිළිබඳ විශේෂ පුහුණුව ලත් යුද හමුදා කාන්තා සාමාජිකාවන් 43 දෙනෙක් ද මෙම භට පිරිසට ඇතුළත්.
මීට අමතරව, සන්නද්ධ රථ, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ‘යුනි බෆල්’ රථ මෙන්ම ජනාධිපති ආරක්ෂක අංශය වෙතින් ලබා දුන් විශේෂ වෙඩි නොවදින රථ 02ක්ද මෙම බළඇණිය වෙත ලබාදීතිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන වැඩිම භට කණ්ඩායම මෙය වීමත් විශේෂත්වයක්.
මේ අතර ඔවුන්ට සුබපැතුම් එක් කිරීමට ජනාධිපතිවරයෙකු පැමිණි පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක් වනවා.













