ලංකා පොදුජන පෙරමුණේ අනුප්‍රාප්තික ජනාධිපති ධුර අපේක්ෂක ඩලස් අලහප් පෙරුමට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය ගත් තීරණයට එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා උදහස්ව සිටින බව වාර්තා වේ .
සරත් ෆොන්සේකා මන්ත්‍රිවරයාගේ යෝජනාව වී තිබෙන්නේ සමගි ජන බලවේගයෙන් විපක්ෂ නායකයා ඉදිරිපත් නොවන්නේ නම් පක්ෂයෙන් වෙනත් කෙනෙකු හෝ පත් කළ යුතු බව යැයි වාර්තා වේ සමගි ජන බලවේගයේ සභාපතිවරයා පාර්ලිමේන්තු පශ්රයේදී ඊයේ ( 19) කිසිදු ප්‍රකාශයක් නොකර මාධ්‍යවේදීන් මගහැර පිටව ගියේය . අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා නාම යෝජනා භාරදුන් ඊයේ ( 19) පාර්ලිමේන්තුවේදී දකින්නට ලැබුණු විශේෂ සිදුවීමක් වූයේ බොහෝ මන්ත්‍රීවරු ජනමාධ්‍ය මගහැර යෑමට උත්සාහ කිරීමය . පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා මාධ්‍යට මුහුණ නොදුන් අතර මෙවැනි දේ වන්නේ නම් හෙතෙම සජබ තනතුරු වලින් පවා ඉවත් වන බව ප්‍රකාශ කර ඇතැයිද නිල නොවන තොරතුරු අනුව වාර්තා විය .
ජනපති තෝරා ගැනීම සඳහා අද ( 20 දා ) පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඡන්දය පාවිච්චි කළ යුතු අන්දම පිළිබඳව දේශපාලන පක්ෂ ඉහළින් ගනු ලැබූ තීරණ කෙරෙහි සමාජිකත්වය තුළ ගැටලු මතු වීම නිසා පාර්ලිමේන්තුවේ නාමයෝජනා භාර දීමෙන් පසු මන්ත්‍රීවරුන් තැන තැන කණ්ඩායම් ගැසී කසුකුසුවේ යෙදෙන අයුරුද දක්නට ලැබිණ .




