ශ්‍රී ලංකා – ජපාන ආර්ථික සබඳතා නව මාවතකට යොමු කෙරෙන යෝජිත ශ්‍රී ලංකා–ජපාන අපනයන කාර්මික කොරිඩෝව (Export-Industrial Corridor) ස්ථාපිත කිරීමේ සැලසුම් ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට ජපානයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වුණා.
ජපානයේ ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප අමාත්‍ය Takehiko Matsuo, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Akio Isomata සහ ජපන්-ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගීතා කමිටුවේ සභාපති Fumihiko Kobayashi යන මහත්වරු සහ ජපාන රජයේ සහ එරට කර්මාන්ත ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් මෙම පිරිසට ඇතුළත්.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය සැප්තැම්බර් මාසයේදී ජපානයේ සිදු කළ රාජ්‍ය සංචාරයේදි පවත්වන ලද සාකච්ඡා අනුව මෙම යෝජිත ශ්‍රී ලංකා–ජපාන අපනයන කාර්මික කොරිඩෝව (Export-Industrial Corridor) ස්ථාපිත කිරීමේ සැලසුම් පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට මෙරටට පැමිණෙන ලෙස කරන ලද ආරාධනය අනුව මෙම විශේෂ නියෝජිත පිරිස මෙරට සංචාරයක නිරතව සිටිනවා.
යෝජිත ශ්‍රී ලංකා–ජපාන අපනයන කාර්මික කොරිඩෝව (Export-Industrial Corridor) මගින් මූලිකවම අපනයන වෙළෙඳපොළ, ඉලක්ක කර ගත් නිෂ්පාදන සඳහා වන ආයෝජන ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කෙරේ. මෙම වැඩපිළිවෙළ තුළින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවත්, කලාපීය නිෂ්පාදන සහ අපනයන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවට ඇති පිළිගැනීම ඉහළ යනු ඇති බවත් මෙහිදී සඳහන් කෙරුණා.
ආයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කෙරෙහි ජපාන රජය සහ ව්‍යාපාරික ප්‍රජාව තුළ පැවති උනන්දුව දශකයකට ආසන්න කාලයකට පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපාන සංචාරයෙන් අනතුරුව යළි පණ ගැන්වී තිබෙන බවද මෙහිදී අවධාරණය කෙරුණා.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්ද්‍රරාජා, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.













