ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය කරමින් සිට සේවයෙන් ඉවත්කර ඇති රියදුරෙක් විසින් ඊශ්‍රායලයේ රැකියා ලබා දෙන බව පවසා සිදුකල මහා පරිමාණ වංචාවට සම්බන්ධයෙන් ඔහුට සහය වූ එම කාර්යාංශයේ සේවය කර ඉන් ඉවත්වු තවත් නිලධාරියෙක් ඊයේ දින (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රත්නපුර ප්‍රදේශයේ පදිංචි ඔහු ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඊයේ දින කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය වෙත කැඳවා ඇති අතර, ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් මස 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.
අදාළ රියදුරු මේ වන විට විමර්ශන නිලධාරීන් මඟ හරිමින් සැගවී සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීමට මේ වන විට පුලුල් විමර්ශන මෙහෙයවනු ලබනවා.
මෙම වංචාවට සම්බන්ධ තවත් කාන්තාවක් මීට පෙර විමර්ශන නිලධාරීන් විසින් අවිස්සාවෙල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.
විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක විම සදහා කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට අනුයුක්තව විශේෂ පොලිස් ඒකකයක් පසුගියදා පිහිටුවන ලද අතර මේ වන විට එම ඒකකයට පැමිණිලි අඛණ්ඩව ලැබෙමින් පවතින බවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරනවා.















