රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙක් අද (25) දින ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් දෙදෙනාගෙන් එක් අයෙක් 34 හැවිරිදි වියේ පසුවන ගම්පහ ප්‍රදේශයේ පදිංචි ඩුබායිහි වැඩ සුපරීක්ෂකවරයෙක් ලෙස සේවය කරන පිරිමි පුද්ගයෙක්.
අනෙක් තැනැත්තිය 25 හැවිරිදි වියේ පසුවන මහනුවර ප්‍රදේශයේ පදිංචි, ඩුබායි හි ගුරුවරියක ලෙස සේවය කරන්නියක් බවයි ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සඳහන් කළේ.
ඔවුන් දෙදෙනා අද (25) දින අලුයම 03.15 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 08 ක් තුළ විදේශීය නිෂ්පාදිත “මැන්චෙස්ටර්” සහ “ප්ලැටිනම්” වර්ගයේ දුම්වැටි 100,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 500 ක් සගවා ගෙන පැමිණ තිබෙනවා.
මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් දෙදෙනා අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.













