මෙරටට ආනයනය කළ බහාලුම් නිෂ්කාශනය කිරීමේ දී වරාය තුළ පවතින තදබදයට විසඳුම් සෙවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ වරාය ප්‍රධානීන්, රේගු නිලධාරීන්, වාප්පු නිලධාරීන්, බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමය ඇතුළු අංශ කිහිපයක් සමඟ සාකච්ඡාවක් පැවැත් වුණා.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (12) මෙම සාකච්ඡාව පැවති අතර, එම සාකච්ඡාවේ දී ජනාධිපතිවරයාගෙන් සාර්ථක විසඳුම් ලැබුණු බවයි මේ සඳහා සහභාගී වූ පිරිස් සඳහන් කළේ.
ඒ, සඳහා කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් යෝජනා වී ඇති බවයි වාර්තා වුණේ.
මේ අතර නිවාඩු දිනයන්වල දී දිවා රාත්‍රී සේවා කටයුතුකර බහාලුම් තදබදය අවසන් කිරීමට මෙහිදී සියලු පාර්ශ්ව එකඟතත්වයකට පැමිණ තිබෙනවා.
එමෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු බහලුම් කඩිනමින් නිදහස් කිරීමට ද මෙහිදී ජනාධිපතිවරයාගේ උපදෙස් මත එකඟ වූ බවයි වාප්පු නිලධාරීන් සංගම් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.
කෙසේ වෙතත් ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මුදාහැරීමේ දී පරීක්ෂා කිරීම් කටයුතු නිවැරදිව සිදුකරන බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මෙහිදී පැවසුවා.