ලොකු පෙරළියකට ජනපති සූදානම්! අවශ්‍ය අයට ආරාධනා කරයි

ශ්‍රී ලංකාවේ ආයෝජනය කරමින් පරිවර්තනීය ගමනකට එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලොව පුරා ආයෝජකයන්ට ආරාධනා කරනවා.

රජයේ දැක්ම සහ අභිලාෂය වන්නේ, වරාය නගරය ලෝකයේ වේගයෙන් වර්ධනය වන කලාප අතුරින් ප්‍රධාන සේවා සපයන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමයි. මෙහි ආයෝජනයෙන් වරාය නගරය ලබාදෙන සුවිශේෂි ශක්තීන් හා අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සියලු රටවල ව්‍යාපාරිකයන්ට ඉඩ ප්‍රස්ථාව උදාවී ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ කොළඹ කොටස් හුවමාරුව එක්ව සංවිධාන කරන “2021 ශ්‍රී ලංකා ආයෝජන සංසදය” තෙදින සමුළුව අද (07) පෙරවරුවේ ආරම්භ කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

සමුළුව මගින් ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජන සහ ප්‍රාග්ධන වෙළෙදපොළ අවස්ථා පිළිබඳ සමස්ත අත්දැකීමක් සහ පුළුල් අවබෝධයක් ලබාදීමට අපේක්ෂා කරනවා. සමුළුවේ දෙවන දිනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ තෙවන දිනය මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

2030 වන විට ශ්‍රී ලංකාවේ ජාතික නිමැවුම්, වර්තමාන මට්ටමේ සිට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇ.ඩො. 8,000ක් දක්වා දෙගුණ කිරීම සඳහා පරිවර්තනීය හා වේගවත් ආර්ථික වර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළා. අද්විතිය භූගෝලීය පිහිටීම, දේශපාලන ස්ථාවරත්වය, ශක්තිමත් ආයතන සහ සමාජ ව්‍යුහය, උගත් හා දක්ෂ ශ්‍රම බලකාය යනාදී සාධක මෙරට සතු ශක්තීන් බව පෙන්වා දෙන ජනාධිපතිවරයා රජයේ වර්ධන ඉලක්ක සපුරා ගැනීමට මෙම සාධක ප්‍රයෝජනයට ගන්නා බවයි කියා සිටියේ.

ශතවර්ෂ ගණනාවක් පුරා ශ්‍රී ලංකාව පෙරදිග හා අපරදිග සම්බන්ධ කළ කේන්ද්‍රස්ථානයක්. කොළඹ සහ හම්බන්තොට වරායන් සතු ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් මගින් කාර්යබහුල වූ ඉන්දියන් සාගරයේ ගමන් කරන විශාලතම බහාලුම් නැව්වලට පවා සේවා සැපයීමට සමත්ව සිටිනවා.

සැපයුම් මධ්‍යස්ථානයක් 

කලාපයේ ප්‍රති නැව්ගත කිරීමේ සහ සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස රට මනාව ස්ථානගත වී ඇති හෙයින් මෙම අංශවල ආයෝජනය සඳහා ඉඩ ප්‍රස්ථාව ඇති බව ජනාධිපතිවරයා විසින් පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසූවේ.

සෞඛ්‍ය සම්පන්න හා කාබනික කෘෂිකර්මාන්තයට සහාය දැක්වීමට රජය දැඩි ප්‍රතිපත්තිමය ස්ථාවරයක් ගෙන තිබෙනවා. සෞඛ්‍ය සම්පන්න බව අගයන කලාපයේ ජනතාවට උසස් තත්ත්වයේ කෘෂිකාර්මික නිෂ්පාදන සැපයීමට අනාගතයේ දී ශ්‍රී ලංකාවට හැකි වෙනවා. මෙම සන්දර්භය තුළ නව තාක්ෂණයන් හා ගොවිතැන් ක්‍රම සඳහා සිදුකෙරෙන ආයෝජන සඳහා අවස්ථා රැසක් නිර්මාණය වී ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළා.

2030 වන විට ජාතික විදුලි අවශ්‍යතාවයෙන් 70%ක්ම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් නිපදවීම රජයේ ඉලක්කයයි. විදුලිබල සැපයුම තිරසරව ඉහළ නැංවිය හැකි සහ කාර්මීකරණය වැඩිදියුණු කිරීමට මහා පරිමාණ සූර්ය හා සුළං බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් සිදුකරන ආයෝජන සඳහා ද ජනාධිපතිවරයා ඇරයුම් කළා.

බොහෝ අමුද්‍රව්‍ය ලංකාව සතුයි

අධි තාක්ෂණික කර්මාන්ත සඳහා භාවිතා වන බොහෝ අමුද්‍රව්‍ය ප්‍රභවයන් ශ්‍රී ලංකාව සතු වෙනවා. මෙම සම්පත්වලට අගය එකතු කරන නිෂ්පාදන කර්මාන්ත සඳහා ආයෝජන දිරිගැන්වීමට රජය උනන්දු වන අතර අනාගතයේදී ගෝලීය වෙළෙඳපොළ සඳහා ඉලෙක්ට්‍රෝනික උපාංග නිෂ්පාදනය කිරීමේ මාවතට පිවිසීමට අපේක්ෂා කරන බැවින් ඒ සඳහා ද ආයෝජකයන්ට ඉඩකඩ ඇති බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ලොව පුරා විසිරි සිටින ප්‍රධාන පෙළේ ආයෝජකයෝ ඇතුළු 3500කට අධික පිරිසක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම තෙදින සමුළුවට එක්ව සිටිනවා. විදේශ ආයෝජන ආකර්ශනය කරගැනීම සඳහා පැවැත්වෙන ආසියාවේ පළමු හා විශාලතම මාර්ගගත සංසදය මෙය බව සංවිධායකයින් පවසනවා.  යුරෝපයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යවසායකයන්ගේ පහසුව පිණිස දෙවන සැසියක් ලෙස සමුළුව විකාශය කිරීමටත් සැලසුම් කර තිබෙනවා. 

අධිකරණ අමාත්‍ය අලි සබ්රි, නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ (Gopal Baglay) , දකුණු කොරියානු තානාපති වුන්ජින් ජියෝන්ග් (Woonjin Jeong), ජපාන තානාපති අකිරා සුගියාමා (Akira Sugiyama), චීන තානාපති චී ෂෙන්ග්හොන්ග් (Qi Zhenhong), යුරෝපා සංගමයේ නියෝජිත දූත මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී තෝර්ස්ටන් බාර්ග්ෆ්‍රෙඩ් (Thorsten Bargfrede) සහ ඇමෙරිකා තානාපති කාර්යාලයේ ප්‍රධාන තානාපති නිලධාරී මාර්ටින් කෙලී (Martin Kelly) යන මහත්වරු සම්පත් දායකයින් ලෙස සමුළුවට සහභාගී වෙනවා.

එක් එක් රටවලට අදාළ සැසිවාරවලදී ඒ ඒ රටවල් නියෝජනය සඳහා ශ්‍රී ලංකාවේ තානාපතිවරුන් ද සමුළුව ඇමතීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

ප්‍රතිපත්ති සම්පාදකයින් සමග අදහස් හුවමාරු කරගැනීම සඳහා ජාත්‍යන්තර කථිකයින් රැසක් සමුළුවට එක්ව සිටිනවා. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53