Empty Ad
Empty Ad
AFC Banner

ලංකාවේ චීන රේඩාර් මධ්‍යස්ථානයක් හැදුවොත් මොනවා වෙයිද?

ශ්‍රී ලංකාව තුළ රේඩාර් කඳවුරක් පිහිටුවීමට චීනය යෝජනා කර ඇති බව ඉන්දියාවේ WION පුවත් සේවය ඇතුළු ජනමාධ්‍ය ආයතන ගණනාවක් විසින් වාර්තා කර තිබේ. ඉන්දීය සාගර කලාපයේ ඉන්දීය නාවික හමුදාව සහ චීන උපාය මාර්ගික කටයුතු අධීක්‍ෂණය කිරීම එම රේඩාර කඳවුරේ අරමුණ බව අදාළ මාධ්‍ය වාර්තාවල වැඩි දුරටත් පෙන්වාදී ඇත.

මේ අතර ඉන්දියාවේ තවත් පුවත්පතක් වන economictimes වාර්තා කර ඇත්තේ, යෝජිත චීන කඳවුරේ ස්ථාපනය කිරීමට සැලසු කෙරෙන රේඩාර් පද්ධතිය මගින් දෙවුන්දරතුඩුව කිලෝමීටර 1,700ක් නිරිත දෙසින් පිහිටි දියාගෝ ගාර්ෂියා දිවයිනේ (Diego Garcia) පවතින එක්සත් ජනපද හමුදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට ද හැකි වනු ඇති බවයි.

චීන විද්‍යා ඇකඩමියේ අභ්‍යවකාශ තොරතුරු පර්යේෂණ ආයතනය ශ්‍රී ලංකාවේ දෙවුන්දරතුඩුව ආශ්‍රිත කැලෑබද ස්ථානයක මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට නියමිත බවයි economictimes වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.

චීනය විසින් මෙවැනි රේඩාර් පද්ධතියක් ස්ථාපනය කළහොත්, එය කලාපය පුරා ඉන්දියාවේ උපාය මාර්ගික කටයුතුවලට බලපෑමක් වන බවද එම ජනමාධ්‍ය වාර්තා සඳහන් කරයි. මෙම චීන උත්සාහය සම්බන්ධයෙන් එල්ල වන තවත් චෝදනාවක් වන්නේ මෙම රේඩාර් පද්ධතිය මගින් අන්දමන් සහ නිකොබාර්(Nicobar) දූපත් වෙත ගමන් කරන ඉන්දීය නාවික යාත්‍රාවල ගමන් මාර්ගද නිරීක්ෂණය කළ හැකි බවයි.

හම්බන්තොට වරාය වසර 99කට චීන බදු දීම මෙන්ම ඔත්තු නෞකාවක් නමින් හඳුන්වන යුවැන් 05 නෞකාව පසුගිය වසරේ මෙරටට පැමිණීමද මෙම වාර්තාවල ඔවුන් විශේෂ කොට සළකා තිබේ. තම කලාපය තුළ චීනයේ මෙවැනි ක්‍රියාකාරකම්වලට ශ්‍රී ලංකාවට අවනත වීමට ඉඩ ඇත්තේ චීනයට ගෙවීමට ඇති විශාල ණය කන්ද නිසා බවද WION වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම ඉන්දීය වාර්තා ඔස්සේ අනාවරණය කර ඇති චීන රේඩාර් කඳවුර හුදු හිතළුවක් ලෙස බැහැර කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවට නොමැති බව, මේ වන විට චීන සැලසුම් පිළිබඳව අවධානයෙන් සිටින වෙනත් ගෝලීය බලවතුන් විසින් සිදුකර ඇති අනාවරණයන්ට අනුව දැකගත හැකිය.

ශ්‍රී ලංකාව ඉලක්ක කර ක්‍රියාවට නැංවිය හැකි මෙවැනි සැලසුමක් පිළිබඳව එක්සත් ජනපදය විසින් අනාවරණය කරන ලද්දේ 2021 වසරේදීය. ගතවුණු වසර 10ක කාලය ඇතුළත දකුණු ආසියාව තුළ සිය බලපෑම සැළකිව යුතු ලෙස වර්ධනය කරගෙන ඇති චීනය, ශ්‍රී ලංකාවේ හමුදා කඳවුරක් හෝ සැපයුම් පහසුකම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කරමින් සිටින බවට ඇමෙරිකා එක්සත් ජනපදය 2021 නොවැම්බර් මාසයේදී හෙළිකර තිබිණි.

චීනය පිළිබඳ එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව (DOD) විසින් 2021 නොවැම්බර් පළමු සතියේ නිකුත් කරන ලද වාර්තාවක්(comprehensive report) ඔස්සේ අනාවරණය කර තිබුණේ, ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් කිහිපයක නාවික, ගුවන් සහ ගොඩබිම් මෙහෙයුම්වලය සහාය වීම සඳහා, අමතර හමුදා කඳවුරු සහ සැපයුම් පහසුකම් වැඩිදියුණු කිරීමට චීනය සැලසුම් කරමින් සිටින බවය.

අදාළ වාර්තාව මගින් එක්සත් ජනපදය සඳහන් කර ඇත්තේ චීනය දැනටමත් නැමීබියාවේ එවැනි කඳවුරක් ඉදිකරන බව ප්‍රකාශ කර තිබෙන බවයි. එම වාර්තාවේ නම් කර ඇති අනෙකුත් රටවල් වන්නේ කාම්බෝජය, මියන්මාරය, තායිලන්තය, සිංගප්පූරුව, පකිස්ථානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කෙන්යාව, සීෂෙල්ස්, ටැන්සානියාව, ඇන්ගෝලාව සහ ටජිකිස්ථානයයි. චීන මහජන විමුක්ති හමුදාවේ (PLA) ක්‍රියාකාරකම් වෙනුවෙන් චීනය මෙම කඳවුරු හෝ මධ්‍යස්ථාන පිහිටුවනු ලැබේ.

කෙසේවෙතත්, යම්හෙයකින් චීනය ශ්‍රී ලංකා භුමියේ තම ආරක්ෂාවට සෘජුව බලපාන මෙවැනි රේඩාර් කඳවුරක් ඉදිකිරීම ඉන්දියාව විසින්ද සරලව සලකනු ඇතැයි සිතිය නොහැකිය. ඊට හේතුව ඉන්දියාවේ ආර්ථික සහ ආරක්ෂක මර්මස්ථාන රැසක්ම මෙවැනි කඳවුරක සිට චීනයට පහසුවෙන් නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබෙන බැවිනි.

පසුගිය වසරේ හම්බන්තොට වරායට පැමිණි චීනයේ ඔත්තු බැලීමේ නෞකාවක් ලෙස සැලකෙන යුවාන් වැන්ග් 5 සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි විරෝධයක් එල්ල කරන ලද්දේ මෙම හේතුව නිසාමය. යුවාන් වැන්ග් 5 යනු පර්යේෂණ සහ සමීක්ෂණ යාත්‍රාවක් ලෙස චීනය විසින් හඳුන්වාදෙන නමුත්, ඉන්දියානු ජනමාධ්‍ය එය හඳුන්වදෙනු ලැබුවේ ඔත්තු බැලීමේ නෞකාවක් ලෙසටය.

යුවාන් වැන්ග් 5 අභ්‍යවකාශ සහ චන්ද්‍රිකා ලුහුබැඳීම මෙන්ම, අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල දියත් කිරීම් සඳහා ද විශේෂිත නෞකාවක් ලෙස සැළකෙයි. චීනයේ මිලිටරි වැඩිදියුණු කිරීම් පිළිබඳ පෙන්ටගනයේ 2022 වාර්ෂික වාර්තාව පෙන්වාදෙන ආකාරයට යුවාන් වැන්ග් නැව් මෙහෙයවනු ලබන්නේ මහජන විමුක්ති හමුදාවේ (PLA ) උපායමාර්ගික ආධාරක බලකාය විසිනි.

එවන් පසුබිමක යුවාන් වැන්ග් 5 වැනි ලුහුබැඳීමේ විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක්, චීනයේ අභ්‍යවකාශ වැඩසටහන් සඳහා ඉතා වැදගත් වේ. කෙසේවෙතත් යුවාන් වැන්ග් 5 යනු බලහත්කාරයෙන් මෙන් පැමිණියද, ආපසු හැරී යන යාත්‍රාවකි. එහෙත් රේඩාර් කඳවුරක් යනු, ස්ථාපනය කළ පසු නැවත උගුලා දැමිය හැක්කක් නොවේ. එමනිසා ඉන්දියාව එවැන්නක් වෙනුවෙන් ශ්‍රී ලංකාව විසින් ලබාදෙන අනාගත අනුමැතියක් කෙසේ ඉවසනු ඇත්දැයි යන්න පූර්වේක්ෂණය කිරීම අපහසුය.

චීනය විසින් මෙලෙස ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාවට සෘජුව බලපාන, ශ්‍රී ලංකා භුමිය සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක කර ඇති මෙන්ම, යෝජනා කරන ලද ව්‍යාපෘති ගණනාවක අවදානම පිළිබඳව ඉන්දියාව මීට පෙරද අනතුරු අඟවා ඇති බවට මෑත අතීතය සාක්ෂි දරයි. එවැනි එක් සිදුවීමක් වන්නේ මෙරටට පැමිණි චීන සබ්මරිනයයි.

චීන සබ්මැරීනයකට සහ යුද නෞකාවකට කොළඹ වරායට පැමිණීමට ශ්‍රී ලංකාව අවසර දී ඇති බව මෙරට බලධාරීන් 2014 නොවැම්බර් මාසයේදී ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව සමග චීනයේ උණුසුම් සබඳතා පිළිබඳව ඉන්දියාව විසින් මතු කරන ලද කනස්සල්ල නොතකා හරිමිනි. ඒ අනුව Changzheng-2 සබ්මැරීනය සහ Chang Xing Dao යුද නෞකාව කොළඹ වරායට පැමිණියේ චීන ජනාධිපති ෂී ජින්පින්ගේ දකුණු ආසියානු සංචාරයකට සමගාමිව තවත් දිගුදුර මෙහෙයුම් සබ්මැරීනයක් කොළඹ වරායට පැමිණ සති හතකට පසුවය.

මෙලෙසින්ම ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට අනතුරු අඟවා ඇති චීන ව්‍යාපෘතියක් වන්නේ කොළඹ වරාය නගරයයි. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය “මුදල් විශුද්ධිකරණය සහ නීති විරෝධී ක්‍රියාකාරකම් සඳහා කේන්ද්‍රස්ථානයක්” බවට අනාගතයේ පත්විය හැකි බව ඉන්දියාව විසින් අවස්ථා ගණනාවකදී ශ්‍රී ලංකාවට පෙන්වාදී ඇත.

පසුගිය වසරේ ජූලි 01 වැනිදා ඉන්දියාවේ නියෝජ්‍ය ජාතික ආරක්‍ෂක උපදේශක වික්‍රම් මිශ්‍රිගේ ප්‍රධානත්වයෙන් පැවැති ඉහළ මට්ටමේ අන්තර් අමාත්‍යාංශ රැස්වීමකදී මෙම අවදානම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව ඉන්දීය මෙන්ම දේශීය ජනමාධ්‍ය විසින්ද වාර්තා කර තිබිණි.

දකුණු ශ්‍රී ලංකාවේ ඉදිකළ, වර්තමානයේ මාගම්පුර වරාය ලෙසද හැඳින්වෙන හම්බන්තොට වරාය චීන ණය යටතේ ඉදිකිරීමේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට අනතුරු අඟවන ලද්දේ, අනාගතයේ චීනය විසින් එය සිය ‘එක් තීරයක්-එක් මාවතක්’ (Belt and Road Initiative) උපායමාර්ගික වැඩසටහනේ දකුණු ආසියාතික මර්මස්ථානයක් ලෙස ක්‍රියාත්මක කිරීමේ අවදානමක් පවතින බව පවසමිනි.

අවසානයේ, ඒ වෙනුවෙන් ලබාගත් ණය ආපසු ගෙවීමේ හැකියාවක් නොමැතිවීම හේතුවෙන්, එක්සත් ජනපද ඩොලර් බිලියන 1.12ක වටිනාකමකට ශ්‍රී ලංකා රජය විසින් හම්බන්තොට වරාය 99 අවුරුදු බදු ගිවිසුමක් යටතේ චීනයට පවරා දුන්නේය.

ශ්‍රී ලංකාවේ උතුරු මුහුදේ දූපත් තුනක දෙමුහුන් බලශක්ති බලාගාර ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා චීනය විසින් යෝජනා කරන ලද්දේ 2021 වසරේදීය. යාපනයේ වෙරළට ඔබ්බෙන් වූ ඩෙල්ෆ්ට්, නාගදීප සහ අනල්තිව් යන දූපත්වල දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධතියක් ස්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුව 2021ජනවාරි මාසයේදී, චීන සමාගමක් වන Sino Soar Hybrid Technology වෙත ලබා දී ඇති බව අනාවරණය කෙරිණි. මෙම දූපත් තුන තමිල්නාඩුවට ආසන්නව පිහිටා ඇත.

එම ව්‍යාපෘති සම්බන්ධයෙන්ද ඉන්දියාව ශ්‍රී ලංකාවට සිය දැඩි කනස්සල්ල පළකළේය. කෙසේහෝ වේවා කැබිනට් මණ්ඩල අනුමැතිය පවා හිමිව තිබූ මෙම චීන ව්‍යාපෘතිය අවසානයේ අතහැර දැමීමට ශ්‍රී ලංකා රජය පියවර ගනු ලැබීය.

මෙවැනි බොහෝ ඉන්දීය අනතුරු ඇඟවීම්වල පැහැදිලි පදනමක් තිබූ බව පසුකාලීනව ප්‍රත්‍යක්ෂ වී තිබේ. එහෙත් බොහෝ අවස්ථාවලදී එවැනි ප්‍රත්‍යක්ෂවීම් සිදුවන විට ශ්‍රී ලංකාව පාර්ශ්වය ප්‍රමාදවී අවසන්ය. එමනිසා පසුගිය අත්දැකීම් සැලකිල්ලට ගනිමින් මෙවර හෝ, එවැනි අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් අවධානයන් පසුවීම ශ්‍රී ලංකා රජයේ වගකීමකි.

එහෙත් එවැනි අවධානයකින් පසුවන බවට හෝ අවදානම් වෙනුවෙන් පූර්ව සූදානමක් ඇති බවට ශ්‍රී ලංකා රජය සුපුරුදු පරිදි, සිය හැසිරීමෙන් පෙන්වන්නේ නැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?