අද පස්වරු 5.10ට පමණ මඩකලපුව සින්නවූර්ණි ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් වැලි ටිපර් රථ රියදුරෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ රාජ්‍ය අමාත්‍ය S වියාලේන්ද්‍රන්ගේ මඩකලපුව ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිටදීයි.
අදාළ වෙඩි තැබීම සිදුකර ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු විසින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ.
මීට දින කිහිපයකට පෙර ඝාතනයට ලක්වූ වැලි ටිපර් රථ රියදුරා සහ අදාළ පොලිස් නිලධාරියා අතර බහින්බස් වීමක් සිදුව තිබෙනවා.
අද දින අදාළ ටිපර් රථ රියදුරා ත්‍රිරෝද රථයකින් ගමන්කරමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ.
වෙඩි තැබීම සිදුකල පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර මෘත දේහය මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
කෙසේ වෙතත් සිද්ධිය වන අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා සිය නිවසේ සිට නැහැ.
වෙඩි තැබීම සම්බන්ධයෙන් මඩකළපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියා.