මුන්දලම, තාරවිල්ලුව ප්‍රදේශයේ වත්තක මුරකරුවකු ලෙස සේවය කරමින් සිටියදී පසුගියදා අභිරහස් ලෙස මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව පහරදීමක් බව පුත්තලම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා ඊයේ (08) සනාථ කළා.
ඒ අනුව මෙය ඝාතනයක් බවට විශ්වාස කරන අතර මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මුන්දලම, තාරවිල්ලුව ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි සිව්දරු පියෙක්.
මෙම තැනැත්තා පසුගිය දෙවැනි දින අලුයම් කාලයේ සිය නිවසේ සිට මීටර් 200ක් පමණ දුරින් පිහිටි අදාල ඉඩමට ගොස් ඇති අතර එහිදී මෙම ඝාතනය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
සිය සැමියා නිවසට නොපැමිණීම හේතුවෙන් බිරිඳ විසින් සිදුකළ සොයා බැලීමකදී ඔහු ඉඩමේ වැටී සිටියදී සොයා ගැනීමට හැකිව තිබෙනවා.
නාසයෙන් සහ මුඛයෙන් රුධිරය වහනය වෙමින් වැටී සිටි සැමියා එම අවස්ථාවේ රෝහල් ගත කිරීමට බිරිඳ කටයුතු කර ඇති අතර දියවැඩියාව ඇතුළු රෝග රැසකින් පීඩා විදිමින් සිටි ඔහුගේ මරණය පිළිබඳව සැකයක් නොමැති බවටද බිරිඳ පොලිසියට පවසා තිබෙනවා.
කෙසේ වෙතත් මෘත ශරීරය පුත්තලම මුලික රෝහලට රැගෙන ගොස් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ කිසියම් අයෙකු විසින් ගෙලට එල්ල කළ දරුණු පහරකින් ගෙල අභ්‍යන්තරයේ සිදුවු මරණීය තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.