වැලිමඩ නගරයේ සිට හපුතලේ දක්වා ධාවනය වු ලංගම බස් රථයක රියදුරුට හා රිය සහයකට එම බස් රථයේ ගමන් ගත් මගීන් දෙදෙනෙකු තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් තුවාල ලබා ප්රතිකාර සදහා බොරලන්ද රෝහලට ඇතුලත් කර ඇතැයි බෝගහකුඹුර පොලිසිය පවසයි.
වැලිමඩ නගරයේ සිට හපුතලේ දක්වා ඊයේ පෙරවරු 6.50 ට පමණ ගමන් ඇරඹු කැප්පෙටිපොල ශ්රී ලංගම ඩිපෝවට අයත් බස් රථයක රියදුරු හා රිය සහයක මෙලෙස පහර කෑමට ලක්ව තිබේ.
වැලිමඩ නගරයෙන් මෙම බස් රථයට ගොඩවුනු තරුණයින් දෙදෙනෙකු ඔවුන්ව වැලිමඩ – හපුතලේ මාර්ගයේ හයේ කණුව ප්රදේශයෙන් බස්සවන ලෙස ලංගම බස් රථයේ කොන්දොස්තරට දන්වා ඇති අතර පැවති කාර්යබහුල තත්වයත් සමග එම ස්ථානයේන් තරුණයින් දෙදෙනා බැස්සවීමට අමතක වි තිබේ.
බොරලන්ද නගරයට ගොස් ලංගම බස් රථයේ කොන්දොස්තරවරයා තරුණයින් දෙදෙනාට දන්වා ඇත්තේ ඔවුන්ව අදාල ස්ථානයෙන් බැස්සවීමට නොහැකි වු බවත් නැවත වැලිමඩ දෙසට ධාවනය වන වෙනත් ලංගම බස් රථයකින් ඔවුන්ව යවා අදාල ස්ථානයෙන් බැස්සවීමට කටයුතු කිරීමට හැකි බවයි.
මෙහිදී කෝපයට පත් අදාල තරුණයින් දෙදෙනා බස් රථයෙන් බැස ලංගම බස් රථයේ කොන්දොස්තරවරයාට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර අදාල ගැටුම නැවැත්වීම සදහා බසයෙන් බැස පැමිණ ලංගම බස් රථයේ රියදුරුටද තරුණයින් දෙදෙනා පහරදී ඇති බව මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
පහරදීම සිදු කල තරුණයින් දෙදෙනා කොළඹ වැල්ලම්පිටිය හා බොරැල්ල ප්රදේශයේ පදිංචි කරුවන් වන අතර පහරදීම සිදුකර ඔවුන් දිව යන විට ප්රදේශවාසින් විසින් ඔවුන් අල්ලාගෙන පොලිසියට භාර දී තිබේ. අදාල සැකකරුවන් දෙදෙනා බෝගහකුඹුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා ( 19 දා ) වැලිමඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් බෝගහකුඹුර පොලිස් ස්ථානාධීපති පොලිස් පරික්ෂක එච්.යූ. ප්රියන්ත මහතාගේ මූලිකත්වයෙන් වැඩි දුර විමර්ශණ සිදු කරති .










